විදේශ විනිමය කළු ආර්ථිකයේ නැගීම සහ ශ්‍රී ලංකා ආර්ථිකයේ කඩා වැටීම – දෙවන කොටස

ආර්ථික විශ්ලේෂක ධනූෂ ගිහාන් පතිරණ විසින් රචිත Rise of Black Economy for Foreign Exchange and Sri Lanka’s Economic Collapse නම් ලිපි මාලාවේ දෙවන ලිපියේ සිංහල අනුවාදය පහත පල වේ. මෙහි පලමු කොටස වෙත මෙම සබැඳියෙන් පිවිසිය හැක. 

 

මෙම ලිපි මාලවේ පළමු ලිපිය මගින් අපි ශ්‍රී ලංකාවේ ආර්ථික කඩා වැටීම සම්බන්ධයෙන් පවතින ලිබරල් පැහැදිලි කිරීම් අර්බුදයේ  විශාලත්වය පැහැදිලි කිරීමට දක්වන පොදු අසමත්භාවය සලකුණු කල අතර ඔවුන්ගේ හේතු දැක්වීමෙහි ප්‍රමාණාත්මක සහ ගුණාත්මක සීමාවන් පවතින බව පෙන්වමින් විචාරයට ලක් කළෙමු. මෙම ලිපිය මගින් අප මෙම දුර්වලතාවය තවදුරටත් විදාරණය කිරීමට උත්සාහ කරනුයේ ව්‍යාපාරික ප්‍රභූ පන්තිය විසින් සාවද්‍ය වෙළද ඉන්වොයිසගතකරණය (Trade mis-invoicing) සහ අපනයන ආනයන ඉන්වොයිස වෙනස් කිරීම මගින් සිදු කරන ප්‍රාග්ධනය පිටතට රැගෙනයාම සහ ශ්‍රී ලංකාවේ විදේශ විනිමය කළු ආර්ථිකයේ ව්‍යාප්තිය මගින් ආර්ථිකය මත ඇති කොට තිබෙන බලපෑම පෙන්වීමෙනි. මෙම නීතීවිරෝධි මූල්‍ය ගලායාම් ජාලය ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ වැනි විදේශ විනිමය ගලා ඒම් විධිමත් බැංකු පද්ධතියෙන් ඉවත් කොට ද්විත්ව විනිමය අනුපාත පද්ධතියක් නිර්මාණය කිරීමට පවා සමත් වී ඇත. විදේශ විනිමය කළු ආර්ථිකය ශක්තිමත්වීම සහ ව්‍යාප්තවීම විසින් ‘විදේශ විනිමය ද්‍රවශීලතා උගුල’ (foreign exchange liquidity trap) සදහා පදනම  සකස් කරනු ලබයි. එමගින් මහ බැංකුවේ මූල්‍ය ප්‍රතිපත්ති යාන්ත්‍රනය විශේෂයෙන්ම විනිමය අනුපාත උච්චාවචනය  පාලනයට යොදා ගන්නා පරාමිතීන් අකාර්යක්ෂම කරනු ලබයි.

 

එය ව්‍යවහාර මුදලේ වටිනාකම සති කිහිපයක් තුළ 90% කින් පමණ බිද වැටීම අවුලුවනු ලැබීය. එම අගය 2022 පෙබරවාරියේදි IMF විසින් සිදු කරන ලද ගණන් බැලිම් මගින් ප්‍රකාශ කළ සැබෑ විනිමය අනුපාතය ශක්තිමත්වීම මගින් අවප්‍රමාණය වූ රුපියලේ අගයට වඩා පස් ගුණයකින් වැඩිය. මෙම ක්‍රියාදාමය විසින් අතිවේගයෙන් ඉහළ යන උද්ධමනය සහ ආහාර, ඖෂධ, ඉන්ධන හිඟය සමග අතිනත ගත් ඉහළ යන විරැකියාව විසින් සලකුණු කළ  ව්‍යවසනකාරී මානුෂීය අර්බුදයක් අපට මුණගස්වා ඇත.

 

ඌණසංවර්ධිත සහ අලුතින් කාර්මීකරණය වූ ආර්ථිකයන් වෙතින් සාවද්‍ය වෙළද ඉන්වොයිසගතකරණය හරහා සිදු වන ප්‍රාග්ධනය අනීතිකව පිටතට රැගෙන යාම පිළිබද අධ්‍යයනය කරනු ලබන අන්තර්ජාතික ආයතනයක් වන Global Financial Integrity (GFI) විසින් “2009 – 2018 කාල සීමාව තුළ සංවර්ධනය වෙමින් පවතින රටවල් 134 ක සිදු වූ නීතිවිරෝධි මූල්‍ය ගලායාම්” යන හිසින් යුත් වාර්තාවක් 2021දෙසැම්බර් 16 වන දින ප්‍රකාශයට පත් කරන ලදි. මෙම වාර්තාව තුළ ශ්‍රී ලංකාව වෙතින් සාවද්‍ය වෙළද ඉන්වොයිසගතකරණය මගින් අනීතිකව පිටතට රැගෙන ගිය ප්‍රාග්ධනය සම්බන්ධයෙන් ඉතා වැදගත් තොරතුරු ප්‍රමාණයක් ඇතුලත් විය. 2009 – 2018 කාලය තුළ ශ්‍රී ලංකාවෙන් පිටතට ව්‍යාපාරික ප්‍රභූ පන්තිය විසින් සාවද්‍ය වෙළද ඉන්වොයිසගතකරණය මගින් වසරකට ඇ.එ.ජ. ඩොලර් බිලියන 4.15 ක සාමාන්‍යයක් ඇතිව ඇ.එ.ජ. ඩොලර් බිලියන 41.5 ක් වැනි විශාල මුදල් ප්‍රමාණයක් රටින් පිටතට අනීතිකව ගෙන ගොස් ඇත. (59 වන පිටුවේ E වගුව බලන්න) 2009 සහ 2018 අතර කාලය තුළ පමණක් ව්‍යාපාරික ප්‍රභූ පන්තිය විසින් රටින් අනීතිකව පිට කරන ලද විදේශ විනිමය ප්‍රමාණය ඇ.එ.ජ. ඩොලර් බිලියන 41.5 ක් වෙද්දි 2022 දි ශ්‍රී ලංකාව විසින් ගෙවීම අත්හරින ලද විදෙස් ණය ප්‍රමාණය ඇ.එ.ජ. ඩොලර් බිලියන 51කි.

 

ඊළග අවුරුදු තුන සම්බන්ධයෙන් දත්ත නොමැති වුවද මෙම ක්‍රියාදාමය විශේෂයෙන්ම 2021 දි වේගවත් වූ බව පෙන්වන ඉතාමත් පැහැදිලි සළකුණු ආර්ථිකය තුළ දැකගත හැකිය. ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්මික නිෂ්පාදන දර්ශකයට අනුව 2021 වසරේදි දේශීය කාර්මික නිෂ්පාදනය 5% කින් සංකෝචනය වෙද්දි යන්ත්‍රෝපකරණ, අමු ද්‍රව්‍ය සහ ආයෝජන භාණ්ඩ ආනයනය අතිවිශාල ලෙස ඉහළ යාම සමාගම් විසින් ආනයන අධි ඉන්වොයිසගත කිරීම සිදු කරන බවට පැහැදිලි සාක්ෂියකි. ශ්‍රී ලංකාවේ ඉහළම ආනයන වියදම වාර්තා වූයේ විදේශ විනිමය ද්‍රවශීලතා හිඟය සැබෑ ලෙසම පෙනුණු සහ විදේශ සංචිත බිදවැටීමත් සමග ආනයන පාලනයද සිදු කරන ලද  2021 වසරේදීය.

 

සාවද්‍ය වෙළද ඉන්වොයිසගතකරණය මගින් ප්‍රාග්ධනය අනීතිකව පිටතට රැගෙන යාමේ සුවිශාලත්වය ගැන කතා කිරීමට පෙරාතුව එය සිදු කරන ආකාරය පිළිබද සැකෙවින් සාකච්ඡා කළ යුතුය. ආනයන අධි ඉන්වොයිසගතකරණය (Import over-invoicing) සහ අපනයන අව ඉන්වොයිසගතකරණය (Export under-invoicing) යනු රටකින් පිටතට ප්‍රාග්ධනය රැගෙන යාමට භාවිතා කරන සාවද්‍ය වෙළද ඉන්වොයිසගතකරණය සිදු කරන ආකාර දෙකයි. ආනයනකරුවන් සහ අපනයනකරුවන් සිය ආනයන පිරිවැය අධි ඉන්වොයිසගත කිරීම සිදු කරනුයේ බදු අයකිරීම බිංදුවට ආසන්න භාණ්ඩ වලිනි.

 

ශ්‍රී ලංකාව තුළ අමු ද්‍රව්‍ය, යන්ත්‍රෝපකරණ සහ ආයෝජන සම්බන්ධ අනෙකුත් ආනයන බොහෝ විට බදු වලින් නිදහස් කර ඇති අතර ඉන්ධන ආනයනය ඇතුළුව වාර්ෂික ආනයන වියදමෙන් 80% ක ප්‍රමාණයක් සමන්විත වන්නේද ඒවාගෙනි. ආනයන අධි ඉන්වොයිසගතකරණය විසින් නිෂ්පාදනයේ මිල, ප්‍රමාණය සහ ගුණාත්මකභාවය වෙනස් කොට දක්වමින් ආනයනය කරන ලද භාණ්ඩ තොගයේ වටිනාකමට වඩා වැඩි වියදමක් සිදු කර ඇති බව පෙන්වයි. ආනයන වියදමෙන් වැඩි කර පෙන්වූ කොටස ආනයනකරුගේ අක්වෙරළ ගිණුමකට (Offshore account) හුවමාරු කරයි. අපනයන අව ඉන්වොයිසගතකරණය මගින් සිදු වන්නේ මෙහි ප්‍රතිපක්ෂයයි. ඒ අනුව සැබෑ අපනයන වටිනාකමට වඩා අඩු අගයක් සඳහන් කොට අතිරික්තය අපනයනකරුගේ අක්වෙරළ ගිණුමකට බැර කරනු ලබයි.    

 

සාවද්‍ය ඉන්වොයිසගතකරණය මගින් පිටතට රැගෙන ගිය ප්‍රාග්ධනයේ වාර්ෂික සාමාන්‍යය අගය ශ්‍රී ලංකාවේ ගෙවුම් ශේෂයේ ජංගම ගිණුමේ හිඟයට වඩා සැළකිය යුතු තරමේ වැඩි අගයක් ගන්නා බව විශේෂයෙන් සදහන් කළ යුතුය. 2009 සිට 2018 දක්වා ජංගම ගිණුමේ වාර්ෂික සාමාන්‍යය හිඟය ඇ.එ.ජ. ඩොලර් බිලියන 2.3 කි. නමුත් එම කාලය තුළ සාවද්‍ය වෙළද ඉන්වොයිසගතකරණය මගින් පිටතට රැගෙන ගිය ප්‍රාග්ධනයේ වාර්ෂික සාමාන්‍යය අගය ඇ.එ.ජ. ඩොලර් බිලියන 4.15 කි. එමගින් පෙන්නුම් කරනුයේ ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික කඩා වැටීම සහ ගෙවුම් ශේෂ අර්බුදය මුලුමනින්ම පාහේ ව්‍යාපාරික පන්තිය විසින් සිදු කරන සාවද්‍ය ඉන්වොයිසගතකරණය වෙත ඌණනය කළ හැකි බවයි. (පහත රූප සටහන බලන්න)

 

 

වැඩිදුරටත්, අප විසින් ආර්ථිකයෙන් අරමුදල් බැහැර කිරීම නිසා වැළැක්වුනු ආදායම්වල පාඩුව ඇස්තමේන්තු ගත කිරීම මගින් ප්‍රාග්ධනය රැගෙන යාමේ සුබසාධන අලාභය තක්සේරු කළ යුතුය. 2009 සිට 2018 දක්වා පිටතට රැගෙන ගිය ප්‍රාග්ධනය සදහා 10% ක සාමාන්‍ය ලාභ අනුපාතයක් ගැලපූ විට එම කාලය තුළ නිර්මාණය කර ඇති අමතර අලාභය ඇ.එ.ජ. ඩොලර් බිලියන 22.9 කි. ඇ.එ.ජ. ඩොලර් බිලියන 41.5 ක් වන සමස්ථ ප්‍රමාණයම 10% ක ලාභ අනුපාතයකට ඊළග වසර හතර ඇතුළත ආර්ථිකය තුළ නැවත ආයෝජනය කළේ නම් ලැබීමට තිබූ, එහෙත් ප්‍රාග්ධනය පිටතට රැගෙන යාම නිසා අහිමි වූ ලාභය ඇ.එ.ජ. ඩොලර් බිලියන 16.6 කි. ඉහත ගණනය කිරීම් දෙකම ලාභය නැවත ආයෝජනය නොකළේය යන උපකල්පනය මත සිදු කර ඇත.

 

ඒ අනුව 2009 සිට 2018 දක්වා පමණක් සාවද්‍ය වෙළද ඉන්වොයිසගතකරණය මගින් ඇතිකල සමස්ථ විදේශ විනිමය අහිමි වීම ඇ.එ.ජ. ඩොලර් බිලියන 81 කි. එය සමාන වන්නේ 2021 වසරේ ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදනයටයි. අනෙක් අතට අරමුදල් කළු ආර්ථිකය තුළින් එවීම නිසා ශ්‍රී ලංකාව ආසන්න වශයෙන් ප්‍රේෂණ වලින් 30% ක ප්‍රමාණයක් (ශ්‍රී ලංකා මහ බැංකුවේ ඇස්තමේන්තුව) එනම් වසරකට ඇ.එ.ජ. ඩොලර් බිලියන 2ක් පමණ අහිමි කරගෙන තිබේ. කළු කඩ ක්‍රියාකාරීත්වය නිසා මෑතකදි ප්‍රේෂණ ගලා ඒම තවදුරටත් කඩා වැටුණු අතර මේ වසරේදි ආසන්න වශයෙන් ඇ.එ.ජ. ඩොලර් බිලියන 6 ත් 6.5 ත් අතර ප්‍රේෂණ ප්‍රමාණයක් මෙලෙස අහිමි වනු ඇත. එම අගය 2022 වසරේ ශ්‍රී ලංකාවේ සමස්ථ ඉන්ධන ආනයන වියදමට සමාන අගයකි.

 

කළු ආර්ථික ක්‍රියාකාරකම් මගින් ගොඩ නගා ගැනීමට අවශ්‍ය විදේශ සංචිත සපයනු ලබන්නේ සාවද්‍ය වෙළද ඉන්වොයිසගතකරණය හරහා සිදුවන ප්‍රාග්ධනය රැගෙන යාම මගිනි. එහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රේෂණ ගලා ඒම නිල බැංකු පද්ධතියෙන් බැහැර වීම සිදු වේ. ඒ අනුව විදේශ විනිමය සදහා වන කළු ආර්ථිකයේ ජීවනාලිය වැටී ඇත්තේ සාවද්‍ය වෙළද ඉන්වොයිසගතකරණය තුළයි. අනෙක් අතට කළු ආර්ථිකයේ ප්‍රසාරණය හේතුවෙන් රජයේ බදු ආදායම අහිමි වීම, දළ දේශිය නිෂ්පාදනයට  සාපේක්ෂ බදු අනුපාතය විශාල ලෙස පහත වැටීම සහ වසර ගණනාවක් තිස්සේ මහාපරිමාණයෙන් සිදු වූ සමාජ සුභසාධනය අහිමි වීම අතිමහත් බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඒ අනුව මේ මොහොතේ ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින ආර්ථික කඩා වැටීම තේරුම්ගත යුත්තේ මෙම සන්දර්භය තුළ විනා ප්‍රශ්නය නැමැති අයිස් බර්ගයේ මතුපිට උලුප්පා දැක්වීමට උත්සාහ කරන ලිබරල් පැහැදිලි කිරීම් මගින් නොවේ.

 

ශ්‍රී ලංකාවේ සහ පොදුවේ ඌණසංවර්ධිත ආර්ථිකයන්හි ව්‍යාපාරික ප්‍රභූන් ඔවුන්ගේම ආර්ථිකයන් යටත්විජිතකරණය කර ඇති අතර සහමුලින්ම වෙනස් යාන්ත්‍රණයක් මගින් යටත්විජිතකරණ මොඩලයක් සකසා ගෙන ඇත යන කරුණ දෝශ සහගත නොවේ. එම නිසා නීති විරෝධි ප්‍රාග්ධන රැගෙනයාමේ ප්‍රතිඵල භයානක බව පැහැදිලි වන ලෙසින් නීති යාවත්කාලීන සහ බලාත්මක කළ යුතුය. බැංකු පද්ධතිය තුළ විදේශ විනිමය නොමැති වීම හේතුවෙන් හට ගත් ඖෂධ, ආහාර සහ ඉන්ධන වැනි අත්‍යවශ්‍ය සැපයුම් වල හිඟතාවය නිසා බොහොමයක් මිනිසුන්ගේ ජීවිත අහිමි විය. නීති විරෝධි ප්‍රාග්ධන රැගෙනයාමට සම්බන්ධ ඕනෑම පුද්ගලයෙකුට දඩුවම් ලබා දිය හැකි ලෙස සහ මෙම මරණ සාවද්‍ය මනුෂ්‍ය ඝාතන ලෙස ගැනෙන අයුරින් නීති යාවත්කාලීන සහ දැඩි විය යුතුය.

 

මූල්‍ය අධිකාරිය, රේගුව සහ බැංකු පද්ධතිය එක්ව මෙම ඉලක්කය අත්පත්කර ගැනීමට සහ තොරතුරු එකතු කර ගැනීමට ආරක්ෂක අංශ වල බුද්ධි ඒකක සමග එක්ව ඒකාබද්ධ උත්සහයක් ගත යුතු වේ. කෙසේ වෙතත් ව්‍යාපාරික ප්‍රභූ පන්තිය වෙත වාණිජ බැංකු වල හිමිකාරිත්වය පවතින තත්ත්වයක් තුළ බැංකු පද්ධතිය මේ සමග අනුගත වේ යැයි බලාපොරොත්තු තබා ගැනීම දුෂ්කරය. තමන්ගේම වාණිජ ගණුදෙනු අධීක්ෂණය කිරීමට යාම තුළින් ලබැදියාවන් අතර ගැටුමක් නිර්මාණය වේ.    

 

2017 දි රචිත ‘ඉන්දියාවේ කළු ආර්ථිකය සහ කළු සල්ලි  තේරුම් ගැනීම’ නැමති ග්‍රන්ථයේ කතෘ ජවහර්ලාල් නේරූ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අරුන් කුමාර් විසින් නීති බලාත්මක කරන අංශ ඒකාබද්ධ ස්වරූපයකින් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය සහ ගැටළුව සම්බන්ධයෙන් මහජන දැනුවත්භාවය ඉහළ නැංවීම තුළින් කළු ආර්ථික ක්‍රියාකාරකම් කෙරෙහි පොදු ජනතාවගේ සමාජීය සහ දේශපාලන ප්‍රතිවිරෝධය ගොඩ නැගීමේ අවශ්‍යතාවය අවධාරණය කරයි. ඔහු ප්‍රකාශ කරන ආකාරයට ප්‍රභූ පන්තිය විසින් 1970 සිට සිදුකරගෙන ආ ප්‍රාග්ධනය පිටතට රැගෙන යාම සිදු නොවූනේ නම් ඉන්දියානු ආර්ථිකය හත් ගුණයකින් විශාල විය හැකිව තිබු බවත් එම නිසා ඒක පුද්ගල ආදායමද වර්තමාන අගයට වඩා හත් ගුණයකින් ඉහළ යාමට ඉඩ තිබුණි. එසේ වූවා නම් මේ වන විට ඉන්දියාව ලෝකයේ විශාලතම ආර්ථිකය බවට පත්වෙනු ඇත.         

 

මුල්‍ය වෙළදපොල තුළ විදේශ විනිමය සදහා ඇති ප්‍රවේශය අනුව ආනයන අධි ඉන්වොයිසගතකරණය සහ අපනයන අව ඉන්වොයිසගතකරණය අතර පවතින වෙනස පැහැදිලි කළ යුතු වේ. අපනයන අව ඉන්වොයිසගතකරණයට සාපේක්ෂව ආනයන අධි ඉන්වොයිසගතකරණය මගින් ආර්ථිකයට විනාශකාරී බලපැමක් ඇති කරයි. එය විදේශ විනිමය ඉපැයීම සදහා කිසිදු දායකත්වයක් නොසපයන ආනයනකරුවන් විසින් එකී විදේශ විනිමය මිලදී ගැනීමේ ක්‍රම වේදයකි. එම නිසා එහි වපසරිය නිෂ්පාදන ධාරිතාව මත සීමා නොවේ. ආනයන අධිඉන්වොයිසගතකරණය වෙත ආනයනකරුගේ ආර්ථික ක්‍රියාකාරකම් වලින් සීමා නොවී දේශීය මූල්‍ය වෙළදපොල තුළ සංසරණය වන විදේශ විනිමය මිලදි ගැනීමේ හැකියාව පවති. ඊට වෙනස්ව අපනයන අව ඉන්වොයිසගතකරණය මගින් ප්‍රාග්ධනය පිටතට රැගෙන යාම අපනයන වටිනාකම මත සීමා වේ. ආනයනය කරනු ලබන භාණ්ඩ තොගයේ වටිනාකමට වඩා වැඩි ආනයකරු විසින් මිලදි ගනු ලබන අතිරික්ත විදේශ විනිමය ප්‍රමාණය සපයාගනු ලබන්නේද ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ, අන්තර්ජාතික ස්වෛරී බැදුම්කර වැනි විදේශ ණය, සෘජු විදේශ ආයෝජන සහ කළඹ විදේශ ආයෝජන වැනි අපනයන නොවන විදේශ විනිමය ගලා ඒම් මගිනි; අධි ඉන්වොයිසගතකරණයේදි ආනයනකරු සියලුම විදේශ ගලා ඒම් ආකාර වෙත ප්‍රවේශය ලබා ගනි.

 

ඩබ්.ඒ.විජේවර්ධන, මහාචාර්ය චන්ද්‍ර අතුකෝරළ සහ ආචාර්ය හර්ෂ ද සිල්වා වැනි ලිබරල් අර්ථශාස්ත්‍රඥයින් ගතානුගතික ලෙස ප්‍රකාශ කරන්නේ රජයේ නිෂ්ඵල යටිතල පහසුකම් ව්‍යාපෘති සහ අධික ලෙස ඇස්තමේන්තුගත කර ඇති වියදම් සහ ව්‍යාපෘති අරමුදල් වංචා කිරීම තුලින් ශ්‍රී ලංකාවේ විදේශ ණය ගැටළුව උත්සන්න වූ බවයි. එම නිසා අර්බුදය රාජ්‍ය අංශයේ දූෂණය සහ දුර්වල කළමණාකරනය වෙත ඌණිත විය. කෙසේ නමුත් අප සදහන් කළ යුතු කරුණ වන්නේ ව්‍යාපෘති ණය ශ්‍රී ලංකාවේ විදේශ ණය වලින් විශාලතම පංගුව නොවන බව සහ විදේශ සංචිත ඉහළ නැංවීමට සහ ගෙවුම් ශේෂ හිගය තුලනය කර ගැනිම සදහා රජය අන්තර්ජාතික ප්‍රාග්ධන වෙළදපොලවල් සහ ද්විපාර්ශවික මූලාශ්‍ර වෙතින් නිරන්තයෙන් ණය ලබා ගත් බවයි. හිටපු විගණකාධිපති ගාමිණි විජේසිංහ පවා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ රජය විසින් ලබා ගත් විදේශ ණයට සමානව භෞතික වත්කම් ශ්‍රී ලංකාව තුළ නොමැති බවයි.

 

මෙය ආනයන අධි ඉන්වොයිසගතකරණය හරහා ප්‍රාග්ධනය පිටතට රැගෙන යාම තුළින් පැහැදිලි කළ හැකිය. ගෙවුම් ශේෂ හිගය පියවා ගැනිම සහ විදේශ සංචිත වර්ධනය කර ගැනීම ඉලක්ක කරමින් අන්තර්ජාතික ස්වෛරීත්ව බැදුම්කර සහ ද්විපාර්ශවික ණය වැනි මූලාශ්‍ර වෙතින් රජය ලබා ගත් විදේශ ණය වෙතද ආනයනකරුවා ප්‍රවේශය ලබා ගනි. ලිබරල් අර්ථශාස්ත්‍රඥයින් විසින් ආර්ථික වර්ධනයේ ඊනියා ගාමක බලවේගය ලෙස හදුන්වන ව්‍යාපාරික ප්‍රභු පන්තිය විදෙස් ගත ශ්‍රමිකයන් විසින් දුක් මහන්සියෙන් උපයන ප්‍රේෂණ පවා ඇතුලත් විදේශ විනිමය ගලා ඒම් සෑම වසරකදීම බිලියන ගණනින් ආර්ථිකයෙන් පිටතට රැගෙන යනු ලබයි. වසර ගණනාවක් තිස්සේ රජය විසින් ලබා ගත් විදේශ ණය වලට සමානව භෞතික වත්කම් රට තුළ නොමැති වීම මෙමගින් පැහැදිලි වේ. එමෙන්ම ආර්ථික විද්‍යා පෙළ පොත් විසින් පොරොන්දු වන කාර්යක්ෂම සහ සාධාරණ ලෙස සම්පත් බෙදීයාමට පරස්පරව වෙළදපොල යාන්ත්‍රණය විසින් සහතික කරනුයේ ප්‍රභු පන්තියේ සුභසාධනය පමණක් බවද මෙයින් පැහැදිලි වේ. එය තුන් වන ලෝකයේ ජිවත් වන පොදු ජනයාගේ ආර්ථික සහ සමාජීය විනාශය වඩාත් තහවුරු කරනු ලබයි.

 

මෙම සන්දර්භය තුළ ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින්නේ 1980 අග භාගයේදී බොහොමයක් අප්‍රිකානු රටවල් මුහුණ දුන් ආනයන අධි ඉන්වොයිසගතකරණය විසින් දේශීය මූල්‍ය වෙළදපොල තුළ පවතින විදේශ විනිමය ද්‍රවශීලිතාවය නැත්තටම නැතිකළ මට්ටමටයි. එය කෙතරම් දුරකට උග්‍ර වූයේද යත් තවදුරටත් ආනයන අධිඉන්වොයිසගතකරණය මගින් වෙළද ගිණුම හරහා ප්‍රාග්ධනය පිටතට රැගෙන යාම සිදු කළ නොහැකි වන මට්ටමකට පැමිණි අතර එම නිසා ප්‍රාග්ධනය පිටතට රැගෙන යාම අපනයන අව ඉන්වොයිසගතකරණයට සීමා විය. මාර්තු මස මුල සිට ශ්‍රී ලංකාවේ විදේශ විනිමය අගය ආසන්න වශයෙන් 90% කින් කඩා වැටීම සහ එමගින් උත්සන්න කළ අතිධාවනකාරී උද්ධමනය සමග අත්වැල් බැද ගත් වැටුප් වල සැබෑ අගය පහත වැටීම තේරුම් ගත යුත්තේ මෙම සන්දර්භය තුළයි.

 

මහාචාර්ය ප්‍රේමචන්ද්‍ර අතුකෝරල ප්‍රකාශ කරන්නේ වත්මන් අර්බුදය අවුලුවනු ලැබුවේ දළ දේශිය නිෂ්පාදිතයෙන් ප්‍රතිශතයක් ලෙස 70%ක් පමණ වන වෙළඳ නොවන (non-tradable sector) අංශය විසින් බවයි. කෙසේ වෙතත් ඉහත සාකච්ඡාවේදි පැහැදිලි ලෙසම පෙනී ගියේ වෙළඳ නොවන අංශය අධික ලෙස ව්‍යාප්ත වීම සහ නිෂ්පාදනය ඇණ හිටීම පසෙකලා සාවද්‍ය වෙළද ඉන්වොයිසගතකරණය හරහා සිදු වු ප්‍රාග්ධනය පිටතට රැගෙන යාම සිදු නොවුනා නම් ගෙවුම් ‍ශේෂ අර්බුදයකට මුහුණ පැමට ශ්‍රී ලංකාවට සිදු නොවනු ඇති බවයි. 2009 සහ 2018 කාලය අතරතුර ජංගම ගිණුමේ වාර්ෂික සාමාන්‍යය හිගය සාවද්‍ය වෙළද ඉන්වොයිසගතකරණය හරහා පිටතට රැගෙන ගිය ප්‍රාග්ධනයේ වටිනාකමින් ආසන්න වශයෙන් අඩක් පමණ වීම මගින්ම මෙය පැහැදිලි වේ.

 

විදේශ විනිමය වෙළදපොල තුළ කළු ආර්ථිකයක් වර්ධනය වීම සම්බන්ධනයෙන් ආචාර්ය ඩබ්.ඒ. විජේවර්ධන සහ ආචාර්ය හර්ෂ ද සිල්වා දැක්වු ප්‍රතිචාරයෙන් ප්‍රකාශ වූයේ නීති බලාත්මක කරන ආයතනයන්ගේ ඒකාබද්ධ උත්සාහයක් මගින් කළු ආර්ථිකය අතුගා දමනවාට වඩා සමපේක්ෂණ ඉල්ලුම නැවැත්වීමට තරම් ප්‍රමාණවත් ලෙස දේශීය පොලී අනුපාත ඉහළ දැමිය යුතු බවත් එමගින් විදේශ විනිමය ගලා ඒම් නැවතත් විධිමත් බැංකු පද්ධතිය වෙත හැරවිය හැකි බවත්ය. කෙසේ වෙතත් ගෙවුම් ශේෂ සමතුලිතතාවය පිළිබද මන්ඩෙල් සහ ෆ්ලෙමින් ආකෘතියට අනුව ස්වාධීන මූල්‍ය ප්‍රතිපත්තිය, ස්ථාවර විනිමය අගය සහ ප්‍රාග්ධනයේ නිදහස් ගලා යාම යන ත්‍රිත්වයෙන් අභ්‍යන්තර අංශයේ ස්ථාවරත්වයටද බාධාවක් නොවන ලෙස එකවිට පවත්වාගත හැක්කේ කොන්දේසි ද්විත්වයක් පමණි.

 

ආචාර්ය විජේවර්ධන සහ පිරිස යෝජනා කරනුයේ ප්‍රාග්ධනයේ නිදහස් ගලා යාම නීත්‍යානූකූල වුවද නොවූවද එයට ඉඩ දෙමින් ස්ථාවර විනිමය අනුපාතයක් අත්පත් කර ගැනිමට නම් මූල්‍ය ප්‍රතිපත්ති ස්වාධීනත්වය අත හැර දැමිය යුතු බවයි. මෙම යෝජිත වැඩපිළිවෙල මේ ගැටලුව විසදීමට අසමත්ය. අප ඉහතින් දැක්වු ආකාරයට සාවද්‍ය වෙළද ඉන්වොයිසගතකරණය හරහා සිදු වන ප්‍රාග්ධනය පිටතට ගලා යාම සහ විදේශ ප්‍රේෂණ අහිමි වීම දේශීය පොලී අනුපාතය නොසලකා හරිමින් වසර ගණනාවක් තිස්සේ වේගවත් වී ඇත. මෙමගින් පෙන්නුම් කරනුයේ ශ්‍රී ලංකාවේ විදේශ විනිමය වෙළදපොල තුළ ද්‍රවශීලතා උගුලක් ක්‍රමිකව වර්ධනය වන බවත් ප්‍රාග්ධන ගලා යාම දේශීය පොලී අනුපාතයට අනුකූලතාවයක් නොදක්වන මට්ටමට පැමිණ ඇති බවත්ය.

 

එමෙන්ම විරැකියාව ඉහළ යාමෙන්, නිෂ්පාදනය අහිමි කරගැනීමකින් සහ එම නිසාම ශ්‍රම වෙළදපොල තුළ අසමතුලිතතාවයක් නිර්මාණය වීමකින් තොරව පොලී අනුපාතය එක්තරා මට්ටමකින් ඉහළට වැඩි කළ නොහැකිය. එම නිසා මන්ඩෙල් සහ ෆ්ලෙමින් රාමුවේ පවතින තත්වයට සාපේක්ෂව සුදුසු සංයෝගය වන්නේ මූල්‍ය ප්‍රතිපත්ති ස්වාධීනත්වය සහ ස්ථාවර විනිමය අනුපාතයක් පවත්වා ගනිමින් ප්‍රාග්ධන ගලනය එහි අනීතික සංරචකයද ඇතුලත්ව පාලනය කිරීමයි.

 

ධනූෂ ගිහාන් පතිරණ

 

පරිවර්තනය – ඉෂාන් චාමර

Comments (0)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *