ප්‍රතිවාද ප්‍රශ්නෝත්තර : මොනවාද මේ සාමූහික ගිවිසුම්?

බලශක්ති ඇමති කංචන විජේසේකර පසු ගිය දිනක ප්‍රකාශ කර තිබුණේ ඔහු විදුලිබල මණ්ඩලයේ සහ තෙල් සංස්ථාවේ සාමූහික ගිවිසුම් අවලංගු කිරීමට උපදෙස් ලබා දුන් බවයි. සාමූහික ගිවිසුම් යක්ෂයා බවට පත් කිරීමට ඇමතිවරයා යොදා ගන්නේ වසර තුනෙන් තුනට 25% කින් වැටුප් වැඩි කිරීමට වගන්ති මෙම ගිවිසුම්වල ඇති බවයි. ලංකාවේ වෘත්තීය සමිතිගත සේවක ප්‍රතිශතය සමස්ත ශ්‍රම බලකායෙන් 10% ක් වත් නොවෙන නිසාත්, එහිත් බහුතරයක් රජයේ සේවය තුළ සිටින නිසාත් ඇත්ත වශයෙන්ම පෞද්ගලික අංශයේ හා අවිධිමත් අංශයේ වැඩ කරනා ජනතාවට සාමූහික ගිවිසුම් යනු මොනවාද යන්නවත් පිළිබඳ අදහසක් නැහැ. ඒ නිසාම කංචන වැනි කපටි ඇමතිවරුන්ට ජනතාවගේ නොදැනුම ජනතාවට එරෙහිව යොදා ගන්න හැකි වෙලා තියෙනවා.මෙම ප්‍රශ්නෝත්තර සටහන සැකසෙන්නේ සාමූහික ගිවිසුම් යනු කුමක්දැ’යි ඒ පිලිබඳ උනන්දු වන පාඨකයාහට පැහැදිලි කර දීමේ අරමුණින්.

 

සාමූහික ගිවිසුමක් කියලා කියන්නෙ මොකක්ද?

 

සේවකයා සහ ආයතනය අතර ඇති එකඟතාවය සාමාන්‍යයෙන් දැක්වෙන්නේ සේවා ගිවිසුමේ නැතිනම් පත්වීමේ ලිපියේ.වැඩ කළ යුතු වේලාව, දීමනා, අතිකාල ගෙවීම්, වැටුප්, නිවාඩු මේ සියල්ල සේවා ගිවිසුමේ සඳහන් වෙනවා. නමුත් සේවා ගිවිසුම අනෙක් ගිවිසුම්වලින් වෙනස් වෙන්නේ සේවකයා හා සේව්‍යයා අතර ඇති අසමාන කේවල් කිරීමේ හැකියාව නිසා. එළවළු මිල දී ගන්නා විට එළවළු මිල අඩු කර ගැනීමට අපට කේවල් කරන්න පුලුවන්. ත්‍රී වීලර් එකේ ගාස්තු අඩු කර ගැනීමට අපිට කේවල් කරන්න පුලුවන්. නමුත් අපේ ශ්‍රමයට ගෙවන මිල නැතිනම් වැටුප් වැඩි කර ගැනීමට අපිට කේවල් කරන්න බැහැ. ශ්‍රම කොන්දේසි වෙනස් කර ගැනීමට අපිට කේවල් කරන්න හැකියාවක් නැහැ. තනියෙන් කේවල් ක‍රන්න බැරි වුණත් එක් වී වෘත්තීය සමිතිගත වූ විට කේවල් කරන්න පුලුවන්. එක් වී සාමූහිකව කේවල් කිරීම තුළින් වැඩපොළ තුළ ඇති අසමාන බල සම්බන්ධය සාධාරණ ලෙස වෙනස් කිරීමට හැකි වෙනවා. ඒ අනුව බලය නැති කම්කරුවන් බලය ඇති පිරිසක් බවට පත් වෙනවා. වැඩ කරනා ස්ථානය අත්තනෝමතික හා ඒකපාර්ශවීය තීරණ ගන්නා ස්ථානයක් වෙනුවට සැබෑ එකඟතාවයන් මත තීරණ ගන්න ස්ථානයක් බවට පත් වෙනවා.

 

සාමූහික කේවල් කිරීම හා වැටුප් අතර සම්බන්ධය කුමක්ද?

 

සාමූහික කේවල් කිරීම නිසා වැටුප් මට්ටම් අනිවාර්යෙන් ම ඉහළ යනවා. ආයතනය හිමියා අධික ලාභ ලබමින් කම්කරුවන්ට ඉතා අඩු වැටුප් ගෙවන්න සාමූහික ගිවිසුම් මගින් බාධාවක් දමන නිසා වැටුප් ඉහළ දැමීමට තෙරපුමක් එයින් ඇති කරනවා. ලංකාව වැනි රටවල් වල සමස්ත වැටුප් මට්ටම් ඉතා පහළ තත්ත්වයක් තිබීමට බලපාන ප්‍රධාන හේතුවක් වෙන්නේ වැඩ කරනා ජනතාව සතුව සාමූහිකව කේවල් කිරීමේ බලය නැති වීම. තනියෙන් කේවල් කිරීමට යාමෙන් රැකියාවෙන් දොට්ට දාන නිසා විශේෂයෙන්ම පුද්ගලික අංශයේ වැඩ කරන සේවක සේවිකාවන්ට ආයතන හිමියාට, නැතිනම් කළමනාකාරීත්වයේ එක්පාර්ශවීය තීරණයන්ට ඔලුව නැමීමට සිදු වෙනවා.

 

සාමූහික ගිවිසුම්වවල නීතිමය වලංගුතාවය මොකක්ද?

 

සාමූහිකව කේවල් කිරීමට ඇති අයිතිය ජාත්‍යන්තර කම්කරු නීතිය තුළ ඇති සම්මුතීන් අතර ඇති ප්‍රධානතම සම්මුතියක් වෙන අතර, සැම රටක්ම සාමූහිකව කේවල් කිරීම ඇති අයිතිය ආරක්ෂා කිරීමට බැඳී සිටිනවා. කාර්මික ආරවුල් පනත යටතේ ලංකාවේ නීතිය තුළදීත් 40% සාමාජිකත්වය ඇති වෘත්තීය සමිතිවලට කේවල් කිරීමේ හැකියාව ලබා දෙනවා. සාමූහික කේවල් කිරීම කර ගිවිසුම්ගත වෙන්නේ සේවකයින් වැඩි පිරිසක් නියෝජනය කරන වෘත්තීය සමිති සමඟ නිසාවෙන් එවැනි එකඟතාවයන් කාර්මික ආරවුල් ඇති වී නිෂ්පාදනයට බාධා සිදු වීම වළක්වනවා.

 

සාමූහික ගිවිසුම් තියෙන්නේ රජයේ ආයතනවල විතරද?

 

රජයේ ආයතනවල විතරක් නෙවෙයි පෞද්ගලික ආයතනවලත් සාමූහික ගිවිසුමි තිබෙනවා. පෞද්ගලික අංශයේ බොහෝ සාමූහික ගිවිසුම් තියෙන්නේ පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති සේව්‍යන්ගේ වෘත්තීය සමිතිය වන සේව්‍ය සම්මේලනය අතරයි. සාමූහික ගිවිසුම් ඇති පෞද්ගලික අංශයේ ආයතනවල ලක්ෂණයක් වෙන්නේ ඉහළ වැටුප් හා වඩාත් ආරක්ෂිත සේවා කොන්දේසි පැවතීමයි.

 

එත‍5කොට % ක වැටුප් වැඩි වීමක් අසාධාරණ නම් සාමූහික ගිවිසුම අවලංගු කරන්න ඕනෙද?

 

කංචන ඇමතිවරයා ප්‍රකාශ කරන්නේ පාඩු ලබන නිසා වසර තුනකට 25% වැටුප් වැඩි කිරීම අසාධාරණ බවයි. බොහෝ දුරට මෙම 25% වසර තුන තුළ බෙදා හැර වැඩි කිරීමක් තමයි තියෙන්නේ. උදාහරණයක් ලෙස පළමු වසරේ 10%, දෙවෙනි වසරේ 8% හා තුන්වන වසරේ 7% ආදී ලෙස. පෞද්ගලික අංශයේ වැටුප් වැඩි කිරීමේ අනුපාත සමග සංසන්දනාත්මකව බැලූ විට වසර තුනකට 25% වැටුප් වැඩි කිරීම කිසිසේත්ම අධිකතර නැහැ.. 50% වැනි උද්ධමන ය ඇති රටක 10% ක වාර්ෂික වැටුප් වැඩි කිරීමක් කියන්නේ 40% ක මුර්ත වැටුප් කප්පාදුවක්.

 

නමුත් මෙම ආයතන පාඩු ලබන නිසා මෙම වැටුප් වැඩි කිරීමේ අනුපාත අධිකතර කියා සිතමු. එවැනි අවස්ථාවක සාමූහික ගිවිසුම් ඒකපාර්ශවීය ලෙස අවලංගු කිරීම් වෙනුවට වැටුප් නැවත සාකච්ඡා කළ හැකියි. ( negotiate) වැටුප් වලින් සිදුවෙන අඩු වීම වෙනත් ආකාරයන්ගෙන් නිෂ්පාදන දිරි දීමනා, ලාභ මත පදනම් වූ බෝනස් ආදිය මගින් හිලව් කළ හැකියි. කම්කරු නීතියට ගරු කරන ඇමතිවරයෙක් කටයුතු කරනු ඇත්තේ ඒ දිශාවටයි.

 

නමුත් කංචන සාමූහික ගිවිසුම් අවලංගු කරන්නේ ඇයි?

 

කංචන ඇමැතිවරයා මේ වෙලාවේ උත්සහ කරමින් ඉන්නේ පුද්ගලික අංශයට විදුලි බල මණ්ඩලය විකුණා දැමීමටයි. පුද්ගලික ආයෝජකයින් සාමූහික ගිවිසුම් සමග ආයතන මිල දී ගැනීමට අකමැති. ඒ නිසා අනාගත ආයෝජකයින්ට ලාභ ලැබීමට විදුලි මිල වැඩි කළ අයුරින්ම සේවකයින් සමග ඇති නීතිමය එකඟතාවයන් ඉවත් කර විදුලි බල මණ්ඩලය විකුණා දැමීමට තමයි ඇමැතිවරයා මේ උත්සහ කරන්නේ. එහෙම නැතිව වැටුප් නිසාවෙන් පාඩු සිදුවෙන නිසා නෙවෙයි.

 

පුද්ගලික අංශයට ඇමැතිවරයා මේ ලබා දෙන්නේ ඉතාම නරක ඉඟියක්. ඇමැතිවරයා සාමූහික ගිවිසුම් මේ විදිහට පරිභවයට ලක් කිරීම නිසාත් ඒකපාර්ශවීය හා උඩඟු විදිහට ඒවා අවලංගු කර දමන්නට තර්ජනය කිරීම නිසාත් පෞද්ගලික අංශයේ මුල් බැස ගෙන තියෙන වෘත්තීය සමිති විරෝධය ප්‍රවර්ධනය කරනවා වගේම, පුද්ගලික අංශයේ සාමූහික ගිවිසුම් ද ඒකපාර්ශවීය විදිහට අවලංගු කිරීමට සහයක් ලබා දෙනවා.

Comments (0)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *