ඇයි විදුලි බල මණ්ඩලය?

ආර්ථික විශ්ලේෂක අහිලන් කදිරගාමර් විසින් Why CEB? යන හිසින් Daily Mirror පුවත්පත වෙත සැපයූ ලිපියේ සිංහල අනුවාදය පහත පලවේ. ලංකා විදුලි මණ්ඩලය පෞද්ගලීකරණය සම්බන්ධව පසුගිය දා ඇති වූ කථා බහ මෙහි දී විශ්ලේෂණයට හසු කෙරෙයි. – සංස්කාරක 

 

හැම දෙනාම බලාගෙන සිටින්නේ ලංකා විදුලිබල මණ්ඩලය දෙසය. විදුලි බල මණ්ඩලය මාතෘකාවක් වී තිබෙන්නේ ඇයි? වැඩකරන ජනතාව මත එහි වන ප්‍රතිවිපාකය කුමක්ද? විදුලි බල මණ්ඩලය පෞද්ගලීකරණයේ ප්‍රශ්නය, විදුලි බලය සැපයීම වෙලඳ මිලට කරන ලෙසට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යොදන තෙරපුම හා ප්‍රශ්නකාරී අදානි ගනුදෙනුව පිලිබඳ මෙම ලිපිය තුල සාකච්ඡා කිරීමට අපේක්ෂා කරමි.

 

අර්බුදය හා පෞද්ගලීකරණය

 

මූල්‍යකරණය, නාගරිකකරණය හා යටිතල පහසුකම් නැංවීම ආදී වූ ප්‍රතිපත්තිවලින් සමන්විත නව ලිබරල් ප්‍රතිපත්තිවල දෙවන ප්‍රවාහය තුල මතු වූ පෞද්ගලීකරණය සඳහා තෙරපුම විසින් විදුලි බල මණ්ඩලය ‘ප්‍රතිසංස්කරණය’ කිරීම ආර්ථික න්‍යාය පත්‍රයේ ප්‍රධාන අංගයක් ලෙසට මතු විය. මෙහි ප්‍රතිසංස්කරණ යනුවෙන් අදහස් වන්නේ පෞද්ගලිකකරණය හා මහජන උපයෝගීතා සේවාවලින් ලාභ උද්ධරණය කිරීමය. 2016 දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් 16 වන එකගතාවයේ දී මතු කල එක් ප්‍රධාන ප්‍රතිසංස්කරණයක් තමයි වෙලඳපොල මිල පිලිබිඹු වන ලෙසට බලශක්ති මිල තීරණය කිරීම හා විදුලිබල මණ්ඩලය බඳු රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීම. 

 

ලෝකය පුරාවට අප අත්දකින දේ නම්, සූරාකෑම, ලාභ උද්ධරණය හා ධනවාදී සමුච්චනය සඳහා අවස්ථාවක් ලෙස අර්බුද අවස්ථා යොදා ගැනෙන ආකාරයයි. තෙල් මිල තුන් ගුණයකින් වැඩි වී තිබුණත් තෙල් සඳහා දීර්ඝ පෝලිම් පැවැතිම, විදුලි කප්පාදුව සිදුවන විට ජනතාව මුහුණ පාන අසරනභාවය ආදිය මගින් පෙන්නුම් කරන්නේ බලශක්තිය කවර ආර්ථික ක්‍රියාවකට වුව කෙතරම් වැදගත් වේද යන්නය. මෙහි අනෙක් අර්ථය නම්, බලශක්ති ක්ෂේත්‍රය තුලින් ලාභ ඉපැයීමට අතිමහත් අවස්ථාවක් පවතින බවයි. ලංකාව ගෙවුම් ශේෂ අර්බුදයකට මුහුණ දී සිටින මේ මොහොතේ වත්කම් ක්ෂණිකව විකුණා දැමීම මූල්‍ය ධනපතීන්ගේ පැත්තෙන් ගත්කල වඩාත්ම පහසු හා ලාභදායක විසඳුම වේ. රටේ උපාය මාර්ගික වත්කම් ගෝලීය ප්‍රාග්ධනය වෙත අලෙවි කිරීම තුලින් විදේශ ණය ප්‍රශ්නය ආමන්ත්‍රණය කල හැක. පොදු දේ තුලින් ලාභ උද්ධරණය කිරීම සඳහා පරිසරය සකස් කිරිම තුල දේශීය ප්‍රභූ පන්තියට ද පෞද්ගලිකකරණය හරහා ලාභ ඉපැයිය හැක.

 

අප වැනි රටක විදුලිබල ක්ෂේත්‍රය පෞද්ගලීකරණය හැකි ආකාර ගණනාවක් පවතී. අදානි සමූහය බඳු විශාල සමාගම්වලට බලශක්ති උත්පාදනය හා විකිණීමට අවසර දීම තුලින් එය පටන් ගත හැක. බිල්පත් එකතු කිරීම අතරමැදියෙක්ට පැවැරීම හෝ ලාභ ලැබීමේ එකම අරමුණ සහිතව පසුවන මූල්‍ය ධනපතින් විසින් පාලනය කෙරෙන කොටස් වෙලඳපොල තුල විදුලිබල මණ්ඩලයේ කොටස් අලෙවි කිරීම මේ සඳහා ගත හැකි වෙනත් ක්‍රියාමාර්ගයන්ය. මේ කෙලෙස සිදුවූවත්, වැඩි මිලක් බලශක්ති පරිභෝජනය සඳහා ගෙවීමට සිදුවීම හා ගෙවීමට අසමත් වුවහොත් විදුලි බල සැපයුම කපා හැරීමට ලක්වීම යන අවදානමට මුහුණ දීමට වැඩ කරන ජනතාවට සිදුවනු ඇත. මෙය දැනටමත් ඔවුන් මත වන පීඩනය තවත් උග්‍ර කිරීමකි.

 

පාඩු ලැබීම සහ සහනාධාර  

 

විදුලිබල මණ්ඩලයට දැනට එල්ල වී ඇති ප්‍රධාන විවේචනය වන්නේ එය පාඩු ලබන ආයතනයක් බවත් ජාතික භාණ්ඩාගාරයට එය විශාල බරක් බවත්ය. මහ බැංකු වාර්ෂික වාර්තාවට අනුව ලංකා විදුලි බල මණ්ඩලයේ පාඩුව 2021 දී බිලියන 22 ක් සහ 2020 දී රුපියල් බිලියන 69 ක් වූ අතර, වෙනසට ප්‍රධාන වශයෙන් හේතු වූයේ 2021 දී ජල විදුලි උත්පාදනය සඳහා ජල පෝෂක ප්‍රදේශවල වැසි ජලය තිබීමයි. තවද 2021 අවසන් වන විට ලංවිමේ දිගුකාලීන වගවීම (liabilities) රු. බිලියන 503 කි. නමුත් විදුලිබල මණ්ඩලයේ මෙම සමුච්චිත ණය සන්දර්භගත කළ යුත්තේ උදාහරණයක් ලෙස මහාමාර්ග සහ මාර්ග සඳහා රජයේ ආයෝජනයට සාපේක්ෂවය. එනම් උදාහරණයක් ලෙස ඒ සඳහා වූ වැය 2022 අයවැයෙන් පමණක් රු. බිලියන 270 කි.

 

කෙසේ වෙතත් ප්‍රශ්නය වන්නේ එවැනි පාඩු – ඇත්ත වශයෙන්ම ඒවා සහනාධාරය- පැහැදිලි කරන්නේ කෙසේද යන්නයි. ශ්‍රී ලංකාව සුවිශේෂී බව අප පළමුව පිළිගත යුතුය; එය මුළු ජනගහනයම පාහේ විදුලිබල පද්ධතියට සම්බන්ධ වී ඇති තුන්වන ලෝකයේ රටවල් කිහිපයෙන් එකකි. ඇත්ත වශයෙන්ම, අපේ ජනගහනයෙන් බහුතරයක් kWh විදුලිය ඒකකයකට ගෙවන්නේ රු. 7.5 හෝ මසකට  රුපියල් 500 කටත් අඩු මුදලකි. එසේම විදුලි ඒකක 60  වඩා අඩුවෙන් භාවිත කරන අයට සහනාධරයක්ද ලැබෙයි. 2021 සහ 2020 දී kWh විදුලි ඒකකයක් සඳහා නිෂ්පාදන පිරිවැය රුපියල් 20 ටත් අඩුය. ඒ නිසා පැහැදිලිවම අපේ වැඩ කරන ජනතාවට විශාල සහනාධාරයක් ලබා දී ඇත. ඊළඟට, මිල නියම කිරීමේ ව්‍යුහය ධනවත් පංතියද ඇතුළු ගෘහස්ත පරිශීලකයින් සඳහා විදුලිය සඳහා වූ සමස්ත සාමාන්‍ය පිරිවැය රු. 15, කර්මාන්ත රු. 15, රජය රු. 18 සහ හෝටල් රු. 18 කි. වෙනත් වචන වලින් කිවහොත්, ප්‍රධාන අංශ සියල්ලටම පාහේ සහනාධාර විදුලිය ලබා දී ඇති අතර ඊනියා පාඩුව නොවැළැක්විය හැකිය. තවද, 2014 වසරේ සිට බොහෝ දුරට විදුලි ගාස්තු සංශෝධනය කර නොමැත. එබැවින්, වෙනත් ඕනෑම ආයතනයක් මෙන් ලංවිම වඩාත් කාර්යක්ෂම කළ යුතු වුවද, සැබෑ කාරණය වන්නේ විදුලි මිල සමහර අංශ අතර බෙදාහැරීම සහතික කිරීම සඳහා රජය විසින් වැඩි මිලක් නියම කිරීම ය; ධනවත් පංති සහ සංචාරක අංශය උදාහරණයක් ලෙස වැඩි මුදලක් ගෙවීම ඒ සඳහා එක මාර්ගයකි. එපමණක් නොව, වැඩ කරන ජනතාව සඳහා සහනාධාර සේවා සහතික කිරීම සඳහා නැවත බෙදාහැරීම වෙනුවෙන් බදු පැනවීමක් අවශ්‍යය වේ.  

 

වත්මන් වර්ෂය ගතහොත්, ජල විදුලිය සඳහා පවතින ජලය අඩු වීමත්, යුක්‍රේනයේ යුද්ධයත් සමග ගෝලීය තෙල් මිල විශාල ලෙස ඉහළ යාමත් සමග වන රුපියල අවප්‍රමාණය වීමත් හේතුකොටගෙන විදුලිය නිෂ්පාදනය kWh ඒකකයක් සඳහා රු. 50 ලෙස ඉහල යා හැකිය. මෙම මිල ඉහල යාම සහ සහනාධාර “පාඩු” ලංවිමට පහර දීමට සහ එය පුද්ගලීකරණය සඳහා තල්ලු කිරීමට යොදා නොගත යුතුය. ඒ වෙනුවට  ආදායමට සහ ධනයට අදාළ බදු ගැසීම ඇතුළුව රාජ්‍ය අනුග්‍රහය සහ අත්‍යාවශ්‍ය අංශ සඳහා ප්‍රතිපාදනවලට ප්‍රමුඛත්වය දීම අවශ්‍ය වේ.  තවද, අඩු පරිබෝජනයක් ඇති පාරිභෝගිකයන් සඳහා විදුලිය මිල වැඩි කිරීම තවදුරටත් ඔවුන් අස්වාමිකරණයට තුඩු දිය හැකිය. ආර්ථික අර්බුදයත් සමඟ වැඩකරන ජනතාවගේ ආදායම් පහත වැටෙන විට, විදුලි මිල ඔවුන්ගේ ජීවනෝපාය කෙරෙහි බලපෑ හැකිය; නිදසුනක් වශයෙන්, ඔවුන්ගේ ගෙවතුවලට ජලය සැපයීම සහ අවශ්‍ය වන කුඩා නිෂ්පාදන කරගෙන යාම ඔවුන්ට අපහසු වනු ඇත. 

 

එකඟවීම් සහ විරෝධය 

 

මෙම සන්දර්භය තුළ, අදානි සුළං බලාගාර ගනුදෙනුව අප සැමගේ අවධානයට ලක්විය යුතු කුප්‍රකට සිද්ධියකි. එක් kWh ඒකකයක් ජනනය කිරීම සඳහා අවබෝධතා ගිවිසුමකට එකඟ වී ඇති පිරිවැය ඇමෙරිකානු ඩොලර් 0.0755ක් වන අතර ජාත්‍යන්තර වෙළෙඳපොළ මිල එම මුදලින් අඩකට වඩා අඩුය. ඇත්ත වශයෙන්ම, ලංසු තැබීමකින් තොරව සිදු වූ මෙවැනි ගණුදෙණුවක් තුල විදුලිය නිපදවීමේදී එවැනි අධික පිරිවැයක් දැරීමට සිදුවුවහොත්, එම පිරිවැය පාරිභෝගිකයන් හෝ බදු ගෙවන්නන් වෙත පැවරීමට නියමිතය. 

 

දෙවනුව, මෙගාවොට් 500 ක ධාරිතාවයකින් යුත් දැවැන්ත බලාගාරය දැනට ශ්‍රී ලංකාවේ මෙගාවොට් 2,300 ත් 2,800 ත් අතර භාවිතා කරන විවිධ ආකාරයේ විදුලි ජනන සඳහා විවිධාංගීකරණය කිරීම සලකා බලමින් සුළං බලය සඳහා වෙන් කර ඇති අපේක්ෂිත මෙගාවොට් 700 ම පාහේ මේ තනි ව්‍යාපෘතිය විසින් අවශෝෂණය කර ගනු ඇත.  

 

මෙය අනාගතයේදී බරපතල ගැටළුවක් විය හැකිය. මන්ද එය අනෙකුත් වෙළඳපල ප්‍රවේශයන් සීමා කරන අතරම අදානි සමූහ ව්‍යාපාරයට දැවැන්ත ඒකාධිකාරී හයියක් සපයයි. 

 

අවසාන වශයෙන්, ශ්‍රී ලංකාව විසින් පිරිවිතරයන් නියම කළ යුතු ව්‍යාපෘති සඳහා ලංසු තැබීම මෙන් නොව, මෙය අදානි විසින් නිර්මාණය කරන ලද සහ ශ්‍රී ලංකාව නිහතමානීව පිළිගත් ව්‍යාපෘතියකි. මෙම ව්‍යාපෘතිය සඳහා මන්නාරම සහ කිලිනොච්චිය යන ප්‍රදේශවල ඉඩම් වෙන් කර ඇති හෙයින්, අදානි සමාගම අඩු කාර්යක්ෂමතාවයකින් යුත් සුළං බල යටිතල පහසුකම් බැහැර කළහොත්, ඉඩම් පරිහරණයේ අවස්ථා පිරිවැය නොසලකා අපි විශාල ඉඩම් ප්‍රමාණයක් ඔවුන්ට බැඳ දී ඇත. මේවා සමහර ඉංජිනේරුවන් විසින් ඉදිරිපත් කරන ලද ඒත්තු ගැන්වෙන තර්ක වන අතර, මෙම ගනුදෙනුව රජය පැහැදිලි කළ යුතුය, නැතහොත් එය විකල්පයක් ලෙස රටට අහිතකර නම් අවලංගු කළ යුතුය. 

 

අදානි ගනුදෙනුව සම්බන්ධයෙන් මතුවිය හැකි ආකාරයේ විරෝධයක සමාජීය හා දේශපාලනික ප්‍රතිවිපාක ගැනද මම සැලකිලිමත් වෙමි. මෙම ගනුදෙනුව පිටුපස ඇති පන්ති අවශ්‍යතා පිළිබඳව අප පැහැදිලි විය යුතු අතර, එය අදානි ඉන්දියන් ද චීන ද ඇමරිකානු ද යන්න ගැන නොවිය යුතුය. ඒ නිසා ඉන්දියානු විරෝධී හැඟීම් අවුස්සන ජාතිකවාදී ප්‍රතික්‍රියාවක් මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් ඇති කිරීම, සැබෑ ප්‍රශ්නය වන අපගේ වැඩ කරන ජනතාවට තිරසාර සහ දැරිය හැකි ආකාරයෙන් විදුලිබල සේවා සැපයීම සම්බන්ධ කරුණින් අවධානය වෙනතකට හැරවීමෙහිලා හේතු වේ. 

 

අපගේ වැඩකරන ජනතාවට බලපාන ගෝලීය සහ ශ්‍රී ලාංකීය ආයතනික අවශ්‍යතාවලට එරෙහිව පන්ති දේශපාලනය ඉදිරියට ගැනීම අවශ්‍ය වන්නේ ආර්ථික අර්බුදය උග්‍ර වන විට මෙවැනි තවත් බොහෝ ගනුදෙනු දැකීමට ඉඩ ඇති බැවිනි. මේ මොහොතේ, ප්‍රහාරයට ලක්ව ඇති ලංවිම සහ එහි වෘත්තීය සමිති ආරක්ෂා කිරීමට අප එක් විය යුතු අතර විදුලිය පුද්ගලීකරණය කිරීමට ගෙන යන පියවරයන්ට එරෙහි විය යුතුය.

 

සටහන – අහිලන් කදිරගාමර්

 

සිංහල අනුවාදය – ගීතිකා ධර්මසිංහ 

 

Comments (0)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *