ආර්ථික විශ්ලේෂක ධනූෂ ගිහාන් පතිරණ විිසින් ඉංග්‍රීසි භාෂාවෙන් රචිත Rise of Black Economy for Foreign Exchange and Sri Lanka’s Economic Collapse නම් ලිපි මාලාවේ පළමු ලිපියේ සිංහල අනුවාදය පහත පල වේ. ලංකාවේ වර්තමාන ආර්ථික අර්බුදයට හේතුව ලෙස දැනට ජනප්‍රියව පවතින පැහැදිලි කිරීම වන්නේ රාජපක්ෂ ආණ්ඩුව විසින් 2020 දී කල බදු අඩු කිරීම මේ සඳහා ප්‍රධාන වශයෙන් බල පෑ බවයි. මෙම මතය සහ ලිබරල් ආර්ථික ශාස්ත්‍රඥයන් ආර්ථික අර්බුදයට හේතු ලෙස දකින අනෙක් කරුණු අභියෝගයට ලක්කරන ධනූෂ ගිහාන් පතිරණ කළු ආර්ථිකය නම් වූ ව්‍යුහාත්මක සාධකයේ බලපෑම අප මුහුණ දී සිටින අර්බුදයට ඓන්ද්‍රීය ලෙස සම්බන්ධ වී තිබෙන ආකාරය පෙන්වා දෙයි. අප මෙම ලිපිය සිංහල බසින් ඉදිරිපත් කරන්නේ ධනූෂ ගිහාන් පතිරණ විසින් ගෙන එන මෙම ප්‍රවාදය ආර්ථිකය පිලිබඳව සිංහල සමාජය තුල තිබෙන විවාදයේ නියමයන් තීරණාත්මක ලෙස වෙනස් කිරීමට හේතු වනු ඇතැ’යි සිතන නිසාවෙනි. – සංස්කාරක
වෙළදපොල ක්‍රමය විසින් බහුතර ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත කඩා බිද දමා ඇති බව ප්‍රතික්ෂේප කළ නොහැකි කරුණක් බවට දැන් පත්ව තිබේ. රුපියල කඩා වැටීමත් සමග වැටුපෙහි මූර්ත අගය යන්නෙහි අර්ථය පවා අහිමිව ගොස් ඇත. විරැකියාව, ඌණ සේවා නියුක්තිය, කුසගින්න, මන්දපෝෂණය, අත්‍යාවශ්‍ය ඖෂධ හිඟය සහ අධ්‍යාපනය දැරිය හැකි මිලකට ලබා ගැනිමට ඇති නොහැකියාව යනාදිය පිළිකාවක් මෙන් පැතිර යන අතර එය සාමාන්‍ය ජනතාවගේ ජීවිත විනාශ කරමින් සිටී. ඉන්ධන ලබා ගැනීම සදහා පෝලීම් වල ලැඟ සිටීම දෛනික දින චර්යාවෙහි අනිවාර්ය කොටසක් බවට පත්ව ඇත. බල තණ්හාව, කෝපයෙන් පැසෙන පොදු ජනතාවගේ ඉල්ලීම් ම්ලේච්ඡ ලෙස පාගා දැමිම සහ අසාමාන්‍ය තරම් වූ ලැජ්ජා විරහිතභාවය තුලින් පාලක ප්‍රභූන් බලයේ රැඳී සිටිති.
මේ අතර සියළුම ආර්ථික ක්‍රියාකාරකම් සංකෝචනය වීම පසෙකලා එක් සුවිශේෂි අංශයක් කැපී පෙනෙන ලෙස වර්ධනය වෙමින් පවතී. කළු ආර්ථිකය විසින් අපගේ දෑස් ඉදිරිපිටම සමස්ථ විදේශ විනිමය වෙළදපොළ සිය ග්‍රහණයට ගෙන ඇත. මෙම විශ්ලේෂණය මඟින් ශ්‍රී ලංකාවේ විදේශ විනිමය කළු ආර්ථිකයේ නැඟීම සහ අප දැන් මුහුණ දෙමින් සිටින ආර්ථික කඩා වැටීමෙහි කේන්ද්‍රයෙහි එය ස්ථානගත වි තිබිම පිළිබදව සාකච්ඡා කිරීමට නියමිතය. අප මෙම සංවාදය වත්මන් අර්බුදය ඇති වීමට බලපෑ හේතු සමබන්ධයෙන් දැනට පවත්නා මතයන් විමර්ශනය කිරිමෙන් ආරම්භ කරමු. දෙවන කොටස මඟින් ඉලක්ක කරනුයේ විදේශ විනිමය කළු ආර්ථිකය, ආර්ථිකයේ බාහිර අංශයේ ස්ථාවරභාවය සදහා වන මන්ඩෙල් සහ ෆ්ලෙමින් රාමුවෙන් (Mundell and Fleming framework) තේරුම් ගැනීමයි. තෙවන සහ අවසන් කොටස මඟින් ආර්ථික තත්ත්වය වඩා නරක අතට හැරීම වැළැක්වීම සදහා ගත යුතු ඉක්මන් සාමූහික ක්‍රියාමාර්ග සහ වෙළදපොල ක්‍රමය මඟින් ස්ථාපිත කොට ඇති ආර්ථික බංකොලොත්භාවය වෙනුවට සාමූහිකව ප්‍රතිලාභ ලබා ගත හැකි ආර්ථික ක්‍රමයක් ස්ථාපිත කර ගැනීම සම්බන්ධයෙන් විමසා බලයි.
විදේශ විනිමය අර්බුදය සම්බන්ධයෙන් පවතින ව්‍යාජ ලිබරල් පැහැදිලි කිරීම් සියල්ලක්ම පාහේ ප්‍රධාන මතයන් තුනක් ලෙස ඉදිරිපත් වේ. පළමු වැන්න නම් වත්මන් රජය විසින් ක්‍රියාත්මක කරන ලද වැරදි මුල්‍ය ප්‍රතිපත්ති නිසා අර්බුදය ඇති වූ බවය. අපි එය ‘රජයේ අසමත්වීම’ ලෙස නම් කරමු. දෙවැන්න නම් ආනයන භාණ්ඩ අධිපරිභෝජනය මතින් වැටුණු අපගේ ජීවන රටාවයි. කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා හෝ ආර්ථිකයට එල්ල වුණු බාහිර කම්පනයේ ප්‍රතිපලයක් ලෙස සංචාරක ව්‍යාපාරය කඩා වැටීම අර්බුදයට හේතු වූ බවට වන මතය තෙවැන්නයි. ආචාර්ය ඩබ්. ඒ. විජේවර්ධන, ආචාර්ය හර්ෂ ද සිල්වා, මහාචාර්ය රොහාන් සමරජීව, වෙරිටේ රිසර්ච් සහ ඇඩ්වොකාටා වැනි කණ්ඩායම් වෙතින් ඉදිරිපත් වන පළමු පැහැදිලි කිරීම තුල යෝජනා වන්නේ රාජපක්ෂ රෙජීමය විසින් ගනු ලැබු නුසුදසු මූල්‍ය ප්‍රතිපත්ති නිසා අය වැය හිඟය තීව්‍ර වූ බවයි. ඔවුන් එකාවන්ව ප්‍රකාශ කරනුයේ 2020 අයවැය මඟින් ප්‍රකාශ කළ බදු සහන හේතුවෙන් රජයේ බදු ආදායම වසරකට රුපියල් බිලියන 600කින් පමණ අඩු වූ බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස රාජ්‍ය අයවැය පරතරය පියවීම සදහා මහජන ණය මූල්‍යනය කිරීමට (මුදල් අච්චු ගැසීම) මහ බැංකුව පෙළඹවූ බවයි. එමගින් පෙර නොවු විරූ ලෙස රුපියල අවප්‍රමාණය වීමටත් උද්ධමනය ඉහළ යාමටත් පටන්ගත් බවයි. ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටින්නේ 2021 දී විනිමය අනුපාතය ඇ.එ.ජ. ඩොලරයට රුපියල් 200ක් ලෙස ස්ථායි කිරීම මඟින් කළු කඩ වෙළදපොල වර්ධනය වීම ප්‍රවර්ධනය වීමත්, විධිමත් බැංකු පද්ධතිය හරහා විදේශ විනිමය රට තුළට පැමිණීම සීමා වූ බවත්ය.
මෙම අදහස එහි ආරම්භක ලක්ෂයෙන්ම විග්‍රහ කරගත යුතුය. 2020 දි සිදු කළ බදු අඩු කිරීම මඟින් බදු ආදායම රුපියල් බිලියන 525 කින් පහත වැටිණි. මෙම අගය පහත වැටීමට කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා රට වසා දැමීමද හේතුවක් විය. කෙසේ නමුත් එහි බලපෑම මැනිය යුත්තේ සමස්ථ අයවැය හිඟයට එමගින් ඇති කළ ශුද්ධ බලපෑම විමසා බැලීමෙනි. එම කාලය තුළ රජයේ වියදම අඩුවීම රුපියල් බිලියන 300කි. ඒ අනුව ශුද්ධ බලපෑම රුපියල් බිලියන 225කි. ‘රජයේ අසමත්වීම’ දේශනා කරන්නන් යෝජනා කරන රුපියල් බිලියන 600 ට වඩා එය බෙහෙවින් අඩු අගයකි. 2021 දි බදු ආදායම 2019ට සාපේක්ෂව ආසන්න වශයෙන් රුපියල් බිලියන 400කින් පමණ පහත වැටුණු අතර අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස 12.3% කට ලඟා විය. ඒ අනුව සමස්ථ ශුද්ධ බලපැම ආචාර්ය ඩබ්.ඒ. විජේවර්ධන, වෙරිටේ රිසර්ච් සහ ඇඩ්වොකාටා විසින් යෝජනා කරනු ලබන අගයෙන් අඩක් පමණ වේ. අප මතකයේ තබා ගත යුතු කරුණ නම් ශ්‍රී ලංකාව දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස අයවැය හිඟය 10% ප්‍රමාණය ඉක්මවූ කාලයන් 1978 සිට 1983 දක්වා නොකඩවා අත්දැක ඇති බවත්, එම අගයද ඉක්මවූ වසර ගණනාවක් 1986 සිට පැවති බවත්ය. එම නිසා බදු කපා හැරීම් සහ 12% ඉක්මවූ අයවැය හිඟය යනාදීය සරලව ගෙනහැර පෑමෙන් දැනට පවතින අර්බුදයේ විනාශකාරී ස්වභාවය විස්තර කිරීමට නොහැකිය. මේ පරිමාණයේ ආර්ථික ව්‍යසනයක් අවුලුවාලීමට තරම් එය කිසිම අවස්ථාවක ප්‍රමාණවත් කොන්දේසියක් නොවේ. දේශිය මූල්‍ය පදනමේ ඇති වන වර්ධනයන්ගෙන් ස්වාධීනව විධිමත් බැංකු පද්ධතිය තුළ ඇත්ත වශයෙන්ම පවතින විදේශ විනිමය හිඟයක් පවති; දෙවැන්න මඟින් පළමු වැන්න පැහැදිලි කිරීමට නොහැකිය.
‘රජයේ අසමත්වීම’ ප්‍රවාදයේ ප්‍රකාශකයින් තවදුරටත් ප්‍රකාශ කර සිටින්නේ රුපියල අවප්‍රමාණය වීමට මුලුමනින්ම බලපානු ලැබුවේ විස්තාරණය වන අයවැය හිඟයේ ප්‍රතිඵලයක් ලෙස මුදල් සැපයුම ඉහළ යාම යන්නයි. කෙසේවෙතත් මහ බැංකුව විසින් නිල විදේශ විනිමය අනුපාතය ඇ.එ.ජ. ඩොලරයකට රුපියල් 200ක් ලෙස තීරණය කර තිබු, මුදල් මුද්‍රණයද එහි හිණිපෙත්තටම ලගා වූ 2021 වසර පුරාවටම කළු කඩ විනිමය අනුපාතය ආසන්න වශයෙන් ඇ.එ.ජ. ඩොලරයකට රුපියල් 250 ක් වැනි ස්ථාවර අගයක පැවතිණි. වෙළදපොල මගින් තීරණය වූ නම්‍යශීලි විනිමය අනුපාතයක් ලෙස පැවති කළු කඩ විනිමය අනුපාතය පවා මෙම අගය තුළ ස්ථාවරව පැවතියේ මූල්‍ය අධිකාරිය විසින් රුපියල් ද්‍රවශීලිතාවය රුපියල් බිලියන 1,400 කින් පමණ ඉහළ දැමු අවධියකදීය. මුදල් සැපයුමේ සිදු වු සුවිශේෂි ඉහළ යාම නොසලකා ඇ.එ.ජ. ඩොලරය සඳහා වූ කළු කඩ අනුපාතය තවදුරටත් අවප්‍රමාණය නොවී පැවතුණේ මහ බැංකුව විසින් නිල අනුපාතය ඇ.එ.ජ. ඩොලරයකට රුපියල් 200ක් ලෙස රඳවා ගෙන සිටි තත්ත්වයකදීය. රුපියලේ කඩා වැටීම ආරම්භ වූයේ මෙම වසරේ මාර්තු මුලදී විනිමය අනුපාතය පා කිරීමට තීරණය කළ මොහොතේදීය.
කෙසේ නමුත් මෙමගින් මුදලේ අගය අවප්‍රමාණය වීම කෙරෙහි මුදල් මුද්‍රණයේ බලපෑම බැහැර නොකෙරේ. මෙතෙක් සිදු කළ සකාච්ඡාව අනුව පැහැදිලි වන්නේ රුපියලේ කඩා වැටීම අවුලවනු ලැබූවේ මුළුමනින්ම පාහේ වෙනස් තත්ත්වයන්ගෙන් බවයි. එය ආචාර්ය විජේවර්ධන, අචාර්ය හර්ෂ ද සිල්වා සහ මහාචාර්ය රොහාන් සමරජීව විසින් යෝජනා කරන බදු ආදායම අඩු වීම සහ මුදල් මුදණය කිරීම ඉහළ යාම යනාදියට වඩා බොහෝ සෙයින් පැතිර පවතින තත්ත්වයකි. මේ වසරේ මුලදී ප්‍රකාශයට පත් කරන ලද ශ්‍රී ලංකා ආර්ථිකය පිළිබද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නවතම වාර්තාව පැහැදිලිව සදහන් කරනුයේ උද්ධමනයට ගලපන ලද විනිමය අනුපාතය හෝ සැබෑ විනිමය අනුපාතය (real effective exchange rate) 2021 වසර අවසානය වන විට මහ බැංකුව විසින් ඇ.එ.ජ. ඩොලරයකට රුපියල් 200ක් ලෙස පවත්වාගෙන ගනු ලැබු අනුපාතයට සාපේක්ෂව අධිප්‍රමාණය වූයේ 17% කින් පමණක් බවත්ය.
මෙයින් අදහස් කෙරෙන්නේ රුපියල හුවමාරු වන වෙළදපොල මගින් තීරණය කළ විනිමය අනුපාතය 2021 වසර අවසානය වන විට ආසන්න වශයෙන් ඇ.එ.ජ. ඩොලරයකට රුපියල් 240ක් ලෙස පැවතිය යුතු බවයි. එය එම කාලයේදි ඩොලරයකට රුපියල් 250ක් ලෙස පැවති කළු කඩ අනුපාතය හා සැලකීමේ දී තරමක් ඉහළ හෝ පහළ අගයකි. අයවැය හිඟය, මුදල් මුද්‍රණය ඉහළයාම සහ මෙහි සාකච්ඡාවට බඳුන් නොකළ හේතූ නිසා අවුලවනු ලැබු උද්ධමනයේ මට්ටම විසින් 2021 වසර අගදි අපගේ වෙළද පාර්ශවයන්ගේ (trading partners) උද්ධමන මට්ටම හා සංසන්දනයේදී 2021 අවසානයේ 17% කින් රුපියල අවප්‍රමාණය කිරීමට හේතු විය. නමුත් මහ බැංකුව විසින් මෙම වසරේ මාර්තු මාසයේදි විනිමය අනුපාතය පා කළ මොහොතේ සිට ඇ.එ.ජ. ඩොලරයට එරෙහිව රුපියල 90%කින් අවප්‍රමාණය විය. එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඉදිරිපත් කළ අගය මෙන් පස් ගුණයකට වඩා ඉහළ අගයකි. අවප්‍රමාණය වීමේ ප්‍රමාණය මා විසින් මුලදි ඉදිරිපත් කරන ලද අදහස් අනුව කිසිම ආකාරයකින් බදු කපා හැරීම් සහ රජය පවත්වාගෙන යාම සදහා මහ බැංකුව විසින් මුදල් මුද්‍රණය කිරීම වෙත ඌණනය කළ නොහැකිය.
රුපියල කඩා වැටීම සම්බන්ධයෙන් වන පැහැදිලි කිරීම රඳා පවතින්නේ ඒ වන විටත් පැවති විදේශ විනිමය අවශෝෂණය කර ගැනීම සදහා විධිමත් බැංකු පද්ධතිය සමඟ තරඟ කළ රාජපක්ෂ රෙජීමයේ අනුහස හා අනුග්‍රහය යටතේ ශක්තිමත් වූ විදේශ විනිමය කළු වෙළදපොලෙහි හැකියාව යන කරුණ මතය. ඇ.එ.ජ. ඩොලරය සඳහා වන කළු කඩ අනුපාතය තුළින් මෙය වඩා පැහැදිලි ලෙස දෘෂ්‍යමාන විය. වෙනත් ආකාරයකට කියනවා නම් නියම නිදහස් වෙළදපොල අනුපාතය 2021 වසර පුරාවටම ස්ථාවර අගයක පැවතුණේ මහ බැංකුව විසින් විනිමය අනුපාතය ඇ.එ.ජ. ඩොලරයකට රුපියල් 200ක් ලෙස රඳවාගෙන සිටි සහ අනවරත ලෙස මුදල් මුද්‍රණය කළ තත්ත්වයද නොසලකා හරිමින්ය.
මේ අනුව පැහැදිලි වනුයේ නිල විනිමය අනුපාතය ඇ.එ.ජ. ඩොලරයකට රුපියල 200ක් ලෙස නම් කර ඇති තත්ත්වයකදී පවා තම විනිමය අනුපාතය ඉහළ දමමින් කළු ආර්ථිකයට විදේශ විනිමය වෙනුවෙන් විධිමත් බැංකු පද්ධතිය සමඟ තරඟ කිරීමට අවශ්‍ය නොවූ බවයි. එම නිසා නිදහස් වෙළදපොල අනුපාතය ආසන්න වශයෙන් ඇ.එ.ජ. ඩොලරයකට රුපියල් 250ක් ලෙස පැවති සැබැ විනිමය අනුපාතය මඟින් නියම කර තිබු මට්ටමට ගැලපී තිබුණි. මෙවැනි තත්ත්වයකදි විනිමය අනුපාත ගමන් මග පාලනය කිරීම සඳහා යොදා ගන්නා ප්‍රතිපත්ති පොලී අනුපාතිකය වැනි මහ බැංකුවේ මූල්‍ය ප්‍රතිපත්ති මෙවලම් වල බලපෑම්සහගතභාවය මුළුමනින්ම පාහේ අතුරුදහන්ව යයි. කළු කඩ අර්ථිකය විසින් මේ හැකියාව වර්ධනය කරගනු ලබන්නේ තමන්ටම විදේශ සංචිත සමුච්චනය කර ගැනීමෙනි. එය මූලිකවම වැඩි කරගනුයේ ප්‍රභූ ව්‍යාපාරික පැලැන්තිය විසින් සිදු කරනු ලබන සාවද්‍ය වෙලඳ ඉන්වොයිස්ගතකරණය (trade mis-invoicing) හරහාය (දෙවන කොටස තුළ මේ සම්බන්ධයෙන් සාකචිඡා වනු ඇත). භාණ්ඩ වල මිල මට්ටම පාලනය කිරීම සහ මත්ද්‍රව්‍ය ජාවාරම, මිනිස් ජාවාරම, ආයුධ ජාවාරම වැනි අපරාධ ආර්ථිකයන්ට අරමුදල් සැපයීම මගින් උපයා ගත හැකි අතිවිශාල ලාභ අන්තරයන් නිසා වාණිජ බැංකු සමග විදේශ විනිමය මිල දී ගැනීමට තරග කිරීමට කලු ආර්ථිකයට හැකියාව ලැබී තිබේ.
කෙසේ වුවද ආචාර්ය විජේවර්ධන, ආචාර්ය හර්ෂ ද සිල්වා සහ ඇඩ්වොකාටා වැනි ව්‍යාජ ලිබරල් අර්ථශාස්ත්‍රඥයින් විසින් පුන පුනා ප්‍රකාශ කරනුයේ පොලී අනුපාත ඉහල දැමීම මගින් විදේශ විනිමය සදහා පවතින සමපේක්ෂි ඉල්ලුම නැති කළ හැකි බව සහ රුපියල කඩා වැටීම නතර කළ හැකි බවයි. සමපේක්ෂණ පිරිවැය ඉහළ දැමීම සඳහා පොලී අනුපාත ඉහළ දැමීම තුළින් මෙම ක්‍රියාවලියට කිසිදු ආකාරයක බලපෑමක් ඇති නොවන්නේ සරලවම අපරාධ ආර්ථික ක්‍රියාකාරකම් වල නිරත වීමෙන් ලැබෙන ලාභ අනුපාතය විධිමත් බැංකු අංශයේ පොලී අනුපාතයට ගැලපිය නොහැකි නිසාවෙනි. පොලි අනුපාත මෙහෙයවීම මගින් ඔවුන් පාලනය කිරීමට උත්සහ කරනු ලබන ක්‍රියාකාරකම් සමපේක්ෂණය සම්බන්ධයෙන් කිසිවක් සිදු නොකරයි.
මහ බැංකුව විසින් ප්‍රමාණවත් පරිදි පොලී අනුපාත ඉහළ දැමීම මඟින් අපරාධ ක්‍රියාකාරකම් හිටිහැටියේම පසු බසිනු ඇති බව සහ අපරාධකරුවන් අනෙක් අය මෙන්ම සාධාරණ ලෙස ආදායම් ඉපැයීමට පැමිණෙනු ඇති බව විශ්වාස කිරීම සහ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම සිහිවිකලත්වයක් හැරෙන්නට අන් කවරක්ද? නිදසුනක් ලෙස නිල විනිමය අනුපාතය ඇ.එ.ජ. ඩොලරයකට රුපියල් 300ක්ව පැවතියදි මහ බැංකුව විසින් සිය ප්‍රතිපත්ති පොලි අනුපාතය පෙර නොවූ විරූ ලෙස පාද අංක 700කින් මෙම වසරේ අප්‍රේල් මාසයේදී ඉහළ දමන ලදි. කෙසේ නමුත් ඉන් පසුව රුපියල 27%කින් කඩා වැටුණු අතර වාණිජ බැංකු වල විනිමය අනුපාතය ඇ.එ.ජ. ඩොලරයකට රුපියල් 380ක් ලෙස සටහන් විය. මෙමඟින් පැහැදිලි වනුයේ කළු කඩ ආර්ථිකයට විදේශ විනිමය අවශෝෂණය කර ගැනීම සඳහා තම විනිමය අනුපාතය නිල විනිමය අනුපාතයට වඩා සැළකිය යුතු තරමේ ඉහළ අගයකට ගෙන විධිමත් බැංකු ක්‍රමවේද සමඟ තරඟ කිරීමේ හැකියාව පවතින බවයි. එය ව්‍යවහාර මුදලේ කඩා වැටිම පැහැදිලි කිරීමේදී ව්‍යාජ ලිබරල්වාදීන් විසින් පුන පුනා අවධාරණය කරනු ලැබූ බදු කපා හැරීම සහ මුදල් මුද්‍රණය යන කරුණු වෙතින් මුළුමනින්ම පාහේ ස්වාධීන වූ ක්‍රියාවලියකි.
මෙම අර්බුදය සම්බන්ධයෙන් වන දෙවන පැහැදලි කිරීම වනුයේ ශ්‍රී ලාංකිකයින් විසින් නිෂ්පාදනය ඉහළ දමා ගැනීමකින් තොරවෙ, ආනයනික භාණ්ඩ සහ සේවාවන් වෙනුවෙන් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් වියපැහැදම් කරමින්, අපට තරම් නොවන ජීවන මට්ටමක් පවත්වා ගෙන යනු ලබන බවට වන විශ්වාසයයි. වෙළද ගිණුමේ අපනයන සහ ආනයන අතර පුළුල් වෙමින් පවතින පරතරය මෙම මතයට සාක්ෂි ලෙස ඉදිරිපත් කරයි. කෙසේ වෙතත් ආනයන වල සංයුතිය විසින් ගෙන හැර පාන චිත්‍රය ඊට හාත්පසින්ම වෙනස් එකකි. සමස්ථ ආනයන වලින් 80% ක් පමණ පවතින්නේ නිෂ්පාදනය සදහා අවශ්‍ය, පුද්ගලික පරිභෝජනයට නොගන්නා අතරමැදි භාණ්ඩ, ආයෝජන භාණ්ඩ, අමුද්‍රව්‍ය සහ යන්ත්‍රෝපකරණ ස්වරූපයෙන් බව යන්න බොහෝ හොදින් දන්නා කරුණකි. (මෙයද විදේශ විනිමය පිටතට ගලා යාම අවම කිරීමේ ක්‍රමවේදයක් ලෙස ආනයන පාලනය කිරීම ප්‍රායෝගික නොවන බවට ඔප්පු කරීම සදහා වෙරීටෙ රිසර්ච් සහ ඇඩ්වොකාටා විසින් පුනරුව්චාරනය කරනු ලබයි) එම නිසා මෙම මතයේ දේශනාකරුවන් විසින් ආනයන අධිපරිභෝජනය සඳහා අප සියළු දෙනාම සාමූහිකව වගකිවයුතු යැයි ප්‍රකාශ කරන විට අප නැඟිය යුතු ප්‍රශ්නය වනුයේ පොදු මහජනයා සිය පැවැත්ම උදෙසා අමුද්‍රව්‍ය, යන්ත්‍රෝපකරණ සහ අනෙකුත් ආයෝජන භාණ්ඩ පරිභෝජනය කරනවාද යන්නයි. පිළිතුර පැහැදිලිවම ’නැත’ යන්නයි. මෙමගින් අපව රැගෙන විත් ඇති ලක්ෂ්‍යය වනුයේ ගෙවුම් ශේෂයේ වෙළද ගිණුමේ විවර වෙමින් පවතින හිඟය පසුපස තිබෙන සැබෑ හේතූන් සහ විදේශ විනිමය සඳහා වන කළු ආර්ථිකය සමඟ ඊට ඇති සම්බන්ධය පිළිබද සාකච්ඡාවටයි. මෙම ලිපි මාලාවේ දෙවන කොටස මගින් ඒ පිළිබදව සාකච්ඡා කරනු ඇති.
අප විසින් පරික්ෂාවට භාජනය කරනු ලබන තෙවන පැහැදිලි කිරීම වනුයේ කොවිඩ් 19 වසංගතය විසින් ඇති කරනු ලැබූ බාහිර කම්පනය මඟින් ඇ.එ.ජ. ඩොලර් බිලියන 4.4 ක් පමණ වන සංචාරක කර්මාන්තය ඇණහිටුනු බවත්, ඒ තුළින් මෙම අර්බුදය අවුලවනු ලැබූ බවටත් වන විශ්වාසයයි. කෙසේ නමුත් සංචාරක ක්ෂේත්‍රය කඩා වැටීමත් සමග ඇති වූ විදේශ විනිමය අහිමි වීමේ බලපැම විශ්ලේෂණය කිරීමේදි අප අවධානය යොමු කළ යුතු කරුණ වන්නේ සාමාන්‍යයෙන් එය විසින් උත්පාදනය කරනු ලැබු ශුද්ධ විදේශ විනිමය ආදායම කොපමණ ප්‍රමාණයක්ද යන්නයි. 2018 වසරේදි සංචාරක අංශය මෙතෙක් වාර්තා කළ සිය ඉහළම විදේශ ආදායම් ගලා ඒම වාර්තා කරද්දි ශ්‍රී ලාංකිකයින් පිටතට සංචාරය කිරීමේ වියදම ඇ.එ.ජ. ඩොලර් බිලියන 1.7 කි. විදේශ සංචාරකයින්ට සේවාවන් සැපයීමේදි දැරීමට සිදු වන ආනයන පිරිවැය එනම් ප්‍රවාහනය, විදුලිය, ආහාර, සනීපාරක්ෂක මෙවලම් ආදීයේ සුවිශාල ආනයන ප්‍රමාණයක් අන්තර්ගත වේ. කර්මාන්තයේ ප්‍රමිතීන්ට අනුව විදේශික සංචාරක ක්ෂේත්‍රයේ ඇස්තමේන්තු කරන ලද ආනයන වියදම හෝටල් ඉදිකිරීම සඳහා ගිය වියදම නොසලකා දළ ආදායමෙන් 25% ත් 30% ත් අතර අගයක් ගනී. මේ නිසා වාර්තාගත සිය හොදම වසර තුළ කර්මාන්තයේ ශුද්ධ විදේශ විනිමය ආදායම ආසන්න වශයෙන් ඇ.එ.ජ. ඩොලර් බිලියන 1.5 කි, එය මේ සා පරිමාණයේ අර්බුදයක් ඇති කිරීම සඳහා යන්තමින් වත් ප්‍රමාණවත් නොවන අගයකි. මෙම ලිපියේ දෙවන කොටස මඟින් අපි වත්මන් කඩා වැටීම උත්සන්න කරනු ලබන මූලධාර්මික සාධකයන් සම්බන්ධයෙන් සාකච්ඡා කරමු.
සටහන – ධනූෂ ගිහාන් පතිරණ
පරිවර්තනය – ඉෂාන් චාමර
Comments (2)
ඩොලර් එක 200 තියාගන්න පොම්ප කරපු ඩොලර් සංචිත ගැන සාකච්ඡා කරන්නෙ නෑ මේකෙදි. මේ ආර්ථික අර්බුදයට හේතුව විනිමය අනුපාතිකය ඉහළ යෑම විතරද? වියුක්ත ලෙස කරන මෙවැනි පැහැදිලි කිරීම හරිද?