සියයට 99 ක ජනතාව සඳහා කලාව

ජැකොබින් සගරාවේ පල වූ, ලූක් සැවේජ් විසින් රචිත Art for 99 percent නම් ලිපියේ සිංහල අනුවාදය පහත පල වේ.

***

ඔබගේ පවුල ධනවත් නම්, ඔබට කලාකාරයෙක් වීමට වැඩි ඉඩක් පවතී

මෙම අදහස ඉදිරිපත් කරන්නේ දකුණුදිග ඩෙන්මාර්ක් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය කැරොල් යාන් බොරොව්කි විසින් පෙබරවාරි මාසයේ ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයක් මගිනි.  බොරොව්කි 1850 දක්වා ඈතට දිවෙන එක්සත් ජනපදයේ සංගණන දත්ත පරීක්ෂා කිරීමෙන්, සිය පර්යේෂණ තුළ නිර්මාණාත්මක වෘත්තීන් වර්ධනය සඳහා අදාළ වන ප්‍රජා විද්‍යාත්මක, භූගෝලීය සහ සමාජ ආර්ථික ආදී විවිධ ප්‍රවණතා හඳුනා ගැනීම සහ ලේඛනගත කිරීම සිදු කරයි.

 

අදාළ අධ්‍යනය මඟින් මතුකරන මුඛ්‍ය අදහස්වල අමුතු විස්මයජනක යමක් නැත. එතකුදු වුවත් එම අදහස් ප්‍රමාණාත්මක ලෙස ඉදිරිපත් කොට තිබෙන ආකාරය කියැවීම සිත්ගන්නා සුලු අත්දැකීමකි.

බොරොව්කි ගේ වචනවලින්ම දක්වන්නේ නම්,

“කාන්තා නිර්මාණකරුවන්ගේ ප්‍රතිශතය සාපේක්ෂ වශයෙන් ඉහළ ය, නිර්මාණාත්මක ජිවිකාවක නිරතවීම හෝ එය භාර ගැනීම කෙරෙහි කාල සීමාවන් ද බාධාවක් විය හැකිය. තවද වාර්ගික අසමානතාවය පවතින අතර එය සෙමින් වෙනස් වීමට නැඹුරු වේ. එසේම  නිර්මාණාත්මක රැකියාවක් තෝරා ගැනීම හෝ ඊට හැඩ ගැසීම සඳහා ද අධ්‍යාපනය සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරයි.”

 

ඉහත අධ්‍යයනය විසින්ද පෙන්වා දෙන, සමහර විට වඩාත් ම වැදගත් දෙය නම් අධ්‍යාපනය සමඟම , යම්කිසි පුද්ගලයෙකුගේ පවුලේ ධනය ඔහු හෝ ඇය කලාකරුවෙකු හෝ නිර්මාණශීලී වෘත්තිකයෙකු වීමේ සම්භාවිතාව තීරණය කිරීමේදී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන බවයි. මෙම ප්‍රමාණනය පුද්ගලයෙකුගේ රැකියාව තීරණය කිරීමට ධනය කොතරම් දුරට උපකාර කරයිද යන්න හෙළි කරයි.

 

ක්‍රිස්ටීන් බාහ්ලර් සඳහන් කරන පරිදි, බොරොව්කිගේ සොයාගැනීම්වලින් පෙනී යන්නේ පවුලේ මුළු ආදායම ආදායමෙන් සෑම ඩොලර් 10,000 කින්ම පුද්ගලයෙකු නිර්මාණශීලි රැකියාවක් කිරීමට ඇති හැකියාව 2% ක ප්‍රතිශතයකින් ඉහළ නංවන බවයි . ඇත්තෙන්ම එයින් අදහස් වන්නේ ඩොලර් මිලියනයක වටිනාකමකින් යුත් පවුලකින් පැමිණෙන අයෙකු කලාකරුවෙකු වීමට ඇති හැකියාව ඩොලර් 100,000 වටිනා පවුලක් ඇති කෙනෙකුට වඩා දස ගුණයකින් වැඩි බවය. (ඇත්ත වශයෙන්ම, බොහෝ කලාකරුවන් ධනවත් බව මෙයින් අදහස් නොවේ – නිර්මානාත්මක කාර්යවල/ වෘතින්වල නියැලෙන අයගේ  ආදායම සාමාන්‍යයට තත්ත්වයට වඩා අඩු බව ද අධ්‍යයනය සටහන් කරයි.)

 

එහි මුහුණුවර අනුව, බොරොව්කිගේ පර්යේෂණය සමහරවිට  කලාකරුවන් යනු වරප්‍රසාදලත්, සාපේක්ෂව හොඳ පසුබිමකින් පැවත එන උගත් පුද්ගලයින්ය යන දැනට පවතින මෙන්ම නිතර නිතර පුනරාවර්තනය වන චිත්‍රය තහවුරු කිරීමට සරලව යොදා ගැනීම සිදුවේ.

මේ අයුරින් කියවා ගැනීමේදී, එහි සොයාගැනීම් ඉතා හොඳ මෙන්ම සම්භාව්‍ය පැරණි පන්නයේ පන්ති පසමිතුරුතා වටහා ගැනීම සඳහාද  අවස්ථාවක් විය හැකිය. ඇත්තෙන්ම ධනපති පන්තියේ සාමාජිකයින් දිගු කලක් තිස්සේ කලාව වැලඳගෙන තිබේ. ඒ ඔවුන්ගේ සුවපහසු ජීවිතයයේ ඇතිවන වික්ෂිප්තවීම්වලින් මිදීම සඳහා විනෝදජනකභාවය ලබා ගැනීමට  මෙන්ම සිය කැපී පෙනෙන පරිභෝජනය ප්‍රදර්ශනය සඳහා වූ කලාපයක් ලෙසයි.

 

නමුත් වඩා අවම පසමිතුරුතාවක් හෝ ඊර්ෂ්‍යාසගත දැක්මකින් හැකි පමණ අවම වූ සහ වඩාත් නිර්මාණාත්මක අර්ථකථනයක් දැනටම අපට තිබේ.  එනම්, නිර්මාණාත්මක ක්‍රියාකාරකම් අධ්‍යාපනය, ආර්ථික සුරක්ෂිතභාවය සහ ධනය සමඟ සමපාත වන විවේක කාලය සමඟ සහසම්බන්ධ වන්නේ නම්, සැබවින්ම ගැටලුව මේ කිසිවක් නොව අසමාන ආකාරයෙන් මේ සියලු දේ බෙදීයාමයි. මේ අයුරින් බලන විට, බොරොව්කිගේ සොයාගැනීම් තුළින් ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදය සඳහා වන තර්කය පහසුවෙන් සම්පූර්ණ කළ හැකිය. එමඟින් අන් සියල්ලටමත් වඩා දැනට වරප්‍රසාදාලත් ඉතා සුළු පිරිසකට සිමා වී පවතින නිදහස් කාලය, අධ්‍යාපනය සහ ද්‍රව්‍යමය යහපැවැත්ම බොහෝ දෙනා අතර බෙදාහැරීමට උනන්දු වෙයි.

 

කාලය, හොඳ අධ්‍යාපනයක් සහ ආර්ථික සුරක්ෂිතභාවයක් තිබීම නිසා මිනිසුන් නිර්මාණාත්මක කටයුතුවල නියැලීමේ සම්භාවිතාව වැඩි කරයි නම්, ඒවා ඔවුන් සියල්ලන්ටම භුක්ති විඳිය යුතු අයිතිවාසිකම් ලෙස සැලකිය යුතු මූලිකම හේතුව වන්නේද එම හේතුවයි. සැබෑ නිදහස යනු , සියල්ලට පසු, ඔබට සුදුසු යැයි පෙනෙන පරිදි ඔබේ කාලය ගත කිරීමට ඇති හැකියාව – ලිවීමට, සිතීමට, පින්තාරු කිරීමට, මූර්ති කිරීමට හෝ විශේෂයෙන් කිසිවක් නොකර සිටීමටද ඇති හැකියාවයි.  ධනවාදය යටතේ අප බොහෝ දෙනාට සාපේක්ෂව ධනවතුන්ට වඩා වැඩි නිදහසක් තිබේ. නමුත් එය එසේ විය යුතු නැත.

 

පරිවර්තක සටහන :

 

ධනය බෙදී යාමේ විෂමතාවය නිසාම එදිනෙදා ජීවිකාව සරි කර ගැනීමට මිස වෙනත් කිසිදු කාර්යයක නිරතවීමට අවශ්‍ය නිදහස් කාලය කම්කරු ජනයාට අහිමි වේ. ආර්ථික විෂමතාවය නිසා වර්ධනය වී ඇති පන්ති වෙනස්කම් සහ “නිදහස් කාලය” පිළිබඳ සලකමින් වෙබ්ලන් ඉදිරිපත් කරන ‘විවේකී පන්තිය’  යන සංකල්පයද මෙම තත්ත්වය කියවා ගැනීම කෙරෙහි දායක කරගත හැකි වැදගත් සංකල්පයකි. නිදහස් කාලය සහ ප්‍රාග්ධනය සම්බන්ධව සලකමින් ඔහු ප්‍රධාන පන්ති දෙකක් පෙන්වා දෙයි. එනම් ‘විවේකී පන්තිය’ හා ‘වැඩකරන පන්තිය’ යන බෙදීමයි. කෙසේවුවද “නිදහස් කාලය” අහිමිවීම මඟින්ම මිනිසා කලාවෙන් ඈත්වීම හෝ හෙතෙම කලාකරුවෙකු වීමට ඇති ශක්‍යතාවයෙන් බැහැරවනවා යන උපකල්පනය තරමක් අගතිගාමී වේ. ඊට හේතුව වන්නේ සමාජ පීඩනය සහ සූරාකෑම මඟින් ඇතිකරන සංයුක්ත තත්ත්වයන් මඟින්ම ව්‍යුත්පන්න වූ කලාවක්, විමුක්තිකාමී කලාවක් අප ඉදිරියේ ඇති බැවිනි.

 

එහෙත් මෙහිදී මතුකළ යුතු වැදගත් කරුණු කිහිපයක් තිබේ. ඉහත ලිපියේද සාකච්ඡා වූ පරිදිම යම් අයෙකු වඩා නිදහස් නිර්මාණශීලී අයෙකු කිරීමේ විභවතාව “නිදහස් කාලය” විසින් උසුලන්නේ නම් වඩා නිදහස් නිර්මාණශීලි සමාජයක් වෙනුවෙන් මෙම නිදහස් කාලය සඳහා වූ ප්‍රවේශය සියලු පුරවැසියන් සතු අයිතිවාසිකමක් විය යුතුය. අනෙක් අතින් විමුක්තිකාමී කලාවක් දැනටම අප ඉදිරියේ ගොඩනැංවී තිබුනද පොදුවේ පාන්තික බෙදීම් පරයා යමින් කළා කෘති නිර්මාණය වුවද ඒ ඇතුලත පවා ගහණව පවතින අසමානතාවයන්ගේ ස්වාභාවය හඳුනා ගැනීම ඉතා වැදගත් වේ.

 

නිදසුනක් ලෙස මෙරට තත්ත්වය සැලකීමේදී ඉංග්‍රීසි සාහිත්‍ය, ඉංග්‍රීසි කාව්‍ය අධ්‍යයනය හෝ ඒවායේ වෘත්තිමය හෝ නිදහස් අයුරින් නිරතවීම බහුතර අවස්ථාවල පාන්තික පසුබිම  හෝ වරප්‍රසාලත් කොටස්වල ක්‍රියාකාරකමක් බවට පත්ව තිබේ. පහළ පාන්තික ජනයා හෝ ඔවුනගේ දරුවන් වෙතින් එවැනි දේට පවතින ප්‍රවේශය විවිධ හේතු මඟින් වලක්වාලීම සිදු වේ. පියානෝ වාදනය හෝ බැලේ නර්තනය වැනි කලාවන්ගේ යෙදීමේ පසුබිමද මීට සමාන වේ. අවම වශයෙන් පාන්තික අනන්‍යතාවය කුමක් වුවත් වරප්‍රසාදලත් පාසලකට පවතින ප්‍රවේශය දරුවන් නිරතවන කලා මාධ්‍යවල ස්වරුපය සහ පරිමාව හසුරුවනු ලැබේ. මේ අනුව  සැලකීමේදී “නිදහස් කාලය” සහ ඊට පවතින ප්‍රවේශය යනු සමානාත්මතාවය අගයන සමාජයක මූලික කොන්දේසියක් බව අපගේ විශ්වාසයයි.

 

සටහන – හර්ෂණී ප්‍රනාන්දු

Comments (0)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *